Latestක්‍රීඩාදේශීය

T20 කාන්තා ක්‍රිකට් – අද ශ්‍රී ලංකා තායිලන්ත තරගය

(නිරෝෂාන් ප්‍රියංකර)

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (24) රාත්‍රි 7.00ට තායිලන්තයට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ දෙපිල විස්සයි20 පිටියේදී හමුවන සිව්වැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2018 වසරේ සිදුවූ පළමු හමුවේදී තායිලන්තය කඩුලු 4ක ජයක් වාර්තා කර ඇති අතර, ඉන් අනතුරුව පැවති තරග 3ම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව ඇත.

මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වන විට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනි. සහභාගිවූ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව 4.243ක ශුද්ධ ලකුණු වේගයක් සමඟ ලකුණු 4ක් ලබා සිටී. තායිලන්තය සහ බංග්ලාදේශය තරග දෙකකින් එක් ජයග්‍රහණයක් පමණක් ලබා සිටී.

ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 මෙන්ම ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 144කිනි.

මේ අතර අයිසීසීය නිකුත් කළ නවතම කාන්තා විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට යෑමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ සමත්ව ඇත්තේ නිමා වූ තරග ද්විත්වයේදී දැක්වූ දස්කම් හේතුවෙනි.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී පන්දු යවන්නියන් අතර ස්ථාන කිහිපයකින් ඉදිරියට ගොස් සිටිති.

ක්‍රීඩා කළ තරග ද්විත්වයේදී කඩුලු 3ක් බිඳ දැමූ ඉනෝෂි ස්ථාන 3ක් ඉදිරියට යමින් සිව්වැනි තැන අත්කරගෙන සිටින්නීය. කෙසේ වෙතත් එහි මුල් ස්ථාන 3 අතර වෙනසක් සිදුව නැති අතර, පළමු තරගයේදී දැක්වූ දස්කම් මත ස්ථාන 4ක් ඉදිරියට ඒමට සමත්වූ උදේශිකා මේ වන විට 30 වැනි ස්ථානයේ පසුවෙයි. සුගන්දිකා කුමාරි ද එක් ස්ථානයක් (31) ඉදිරියට පැමිණ සිටී.

මැලේසියාවට එරෙහි තරගයේදී ඉතිහාසගත ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්වුවද පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල වෙනසක් සිදුව නැති අතර, ඇය 9 වැනි තැනම රැඳී සිටී. එහි මුල් ස්ථාන 10 නොවෙනස්ව තිබියදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන සෆාලි වර්මා ස්ථාන 4ක් සහ හර්මන්ප්‍රීත් කෞර් එක් ස්ථානයක් ඉදිරියට එමින් සමව 11 තැන රැඳී සිටිති.

තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 5 වැනි තැන සිටින අතර, එහි කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් එක්සත් අරාබි එමීර් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩිකා කවිෂා එගොඩගේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 30 වැනි තැන හිමි කර ගෙන ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *