Latestදේශීය

පොලිස් කොමිසමේ තීරණය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එස්.කේ පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ උසස් වීම අභියෝගයට ලක් කරමින් සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ඒ සෝමරත්න ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරු 134 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 සඳහා නඩු ගාස්තු ගෙවන ලෙසද වගඋත්තරකාර ඩී.එස්.කේ පුෂ්ප කුමාරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

අර්ජුන ඔබේසේකර, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් මෙම පෙත්සම් සලකා බලන ලදී.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී.එස්. කේ පුුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය.

විශේෂ කුසලතා හා දස්කම් දැක්වූ නිලධාරීන්ට මේ ආකාරයේ විශේෂ උසස් වීම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබුණද වග උත්තරකරුට ලබා දී තිබෙන මෙම උසස්වීම එම ගණයට අයත් නොවන බව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

ඒ අනුව එවක වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නිර්දේශයක් අනුව ජාතික පොලිස් කොමිසම විසින් වග උත්තරකාර ඩී.එස්.කේ පුෂ්ප කුමාර 2020 වසරේ ජුනි මස 09 වනදා සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවද විනිසුරු මඩුල්ල පවසා තිබේ.

වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ මෙම තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව තීන්දු කර ඇති ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ උසස්වීම බලරහිත කරන බවට නියෝග කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *