Latestදේශීය

කෙහෙළියට එරෙහි නඩුව විභාගයට

1999 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන අතරතුර වෙඩි තබා බෝම්බ ගසා පුද්ගලයකු ඝාතනය කර හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බංඩාර දිසානායක රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (31), අගෝස්තු මස 27 සහ අගෝස්තු මස 30 යන දින තුනෙහි විභාගයට ගැනීමට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි මෙ‍ෙනවිය නියෝග කළාය.

එදින විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙ‍ෙනවිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය. සෙසු විත්තිකරුවන්ටද එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරිණ. මහනුවර මහාධිකරණය හමුවේ පවතින එච්සී/148/2002 අංක දරන අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඒ තමාට පාර්ලිමේන්තු සැසිවාරයකට එක්වීමට ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මඟින් අධිකරණයට දන්වමිනි.

1999 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බලප්‍රදේශයට අයත් නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ දී වත්තුහේවාගේ විමලසූරිය යන අයට වෙඩි තබා බෝම්බ ගසා ඔහු මරණයට පත් කළ බවටත් වෙඩි තබා බෝම්බ ගසා මහින්දානන්ද අලුත්ගමගේ සහ කේ. එච්. ශ්‍රියානන්ද සහ එච්. නන්දසිරි සහ පී. ජී. නිමල් රාජසිංහ සහ එම්. ජී. ප්‍රියන්ත මල්වත්ත යන අයවලුන්ට බරපතළ තුවාල සිදු කළ බවටත් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 315 සහ 300 වගන්ති ප්‍රකාරව මෙම විත්තිකරුවන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටිනුයේ අබ්දුල් රහීම් මොහිදීන් අබ්දුල් කාදර් සහ කෙහෙළිය බංඩාර දිසානායක රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය) සහ පීටර් ගගනගෙදර සහ නන්දන සිසිර කුමාර සහ තුවාන් නිසාම් මිස්කින් යන අයවලුන්ය. මොවුන් අතරින් පළමු විත්තිකාර අබ්දුල් රහීම් මොහිදීන් අබ්දුඅල් කාදර් සහ පස්වන විත්තිකාර තුවාන් නිසාම් මිස්කින් යන දෙදෙනා නඩුව අතරතුර මිය ගොස් ඇත.

මහනුවර මහාධිකරණයේ දී නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට මීට පෙර අධි චෝදනා කියවා දී භාර දුන් අවස්ථාවේ පැමිණිල්ල විසින් තමන්ට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවත් සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බවත් විත්තිකරුවන් ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට දැනුම් දුන්හ.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර 2000 වසරේ ජූලි මස 24දා නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කර තිබිණ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ.අර්. ශෂින්කිරන් සහ රජයේ රස පරීක්ෂක මැන්දිස් යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් පනස් පස් දෙනකු නම් කරනු ලැබ සිටිති.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාද මෙදින අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙ‍ෙනවිය පෙනී සිටි අතර දෙවන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සමඟ නීතිඥවරුන් වන අවිශ්ක ජයවර්ධන සහ ෂෙනාල් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ. තුන සහ හතරවැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවරත්න බංඩාර මහතා පෙනී සිටියේය. ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා තිබිණ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *