Latestදේශීයමතවාද

තීරණයක් ගන්නට පෙර හිතන්න යමක්

(චන්දන සිරිමල්වත්ත)

මැතිවරණ පැවැත්වෙන හැම අවස්ථාවකදිම ජනයා තමන් කැමති පක්ෂයට, අපේක්ෂකයාට ඡන්ද ලබා දෙන එක ලංකාවෙ විතරක් නෙවෙයි, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය භාවිතවන හැම තැනම වෙන දෙයක්.

සමහරු ජීවිත කාලෙටම තමන්ගෙ පක්ෂය කියලා හිතන පක්ෂ තියෙනවා. තවත් අය එක් එක් අවස්ථාවෙ අපේක්ෂකයා අනුව ඡන්දය දෙනවා. නමුත් බොහෝ අවස්ථාවල මැතිවරණවල තීරණාත්මක වෙන්නෙ, නිශ්චිත පක්ෂවලට හෝ අපේක්ෂකයට හැමදාම දෙන ඡන් නෙවෙයි, පාවෙන ඡන්ද.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතර තියුණු සටනක් පවතින බවට සැකයක් නෑ. මේ වන විට ප්‍රකාශිත හා අප්‍රකාශිත ජනමත සමීක්ෂන ගණනාවකින් කියැවෙන්නෙ තවමත් තීරණයක් නොගත් ඡන්දදායකයන් අති විශාල පිරිසක් සිටින බවයි.

නමුත් අපි මේ ජනාධිපතිවරණයට යන විටම දන්නවා, ජනතාව ලෙස ගන්න ඕන ඊළඟට එන මහමැතිවරණයට සම්බන්ධ තීරණයක් බව. එහෙම දේශපාලන බලය සම්බන්ධ තීරණයක් ගන්න වෙලාවෙදි අපට අමතක කරන්න බැරි කාරණය අප සමාජයක් ලෙස මුහුණ දී ඇති ඉරණම.

මේක වෙනස් කරන්න ඕන කියන අදහසින් 2022 මහජන අරගලයක් පැන නැගුණා. බලසම්පන්න ජනවරමක් හිමිකරගත්, විධායක බලය පූර්ණව අත දරා සිටි ගෝඨාභය ඒ මහජන අරගලය හමුවේ පැනලා ගියා. පාලක පක්ෂයට තවමත් නැගිට ගන්න බැරි ප්‍රහාරයක් එදා එල්ල වුණා.

මැතිවරණවලදි මාරුවෙන් මාරුවට ඡන්දය දීළා පාලකයන් පත්කරපු ජනතාව ඒ වෙලාවෙ එවැනි සාමුහිකත්වයකට එන්න, පාලකයන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කරන තත්වයට පත් වුණේ ඔවුන් විසින් මුහුණ දී ඇති දැවැන්ත පීඩාව බව නිසැකයි.

ප්‍රශ්නය තියෙන්නෙ මෙවර ජනාධිපතිවරණය තුළ හෝ අරගලයෙන් පසුව ගෙවී ගිය වසර 2ක කාලය තුළ ඒ දේශපාලන මොහොත සම්බන්ධ වැටහීමක් ලබාගත් බවක්, අපේ දේශපාලන සමාජය තුළ විශේෂයෙන් ප්‍රධාන ප්‍රවාහයේ හැසිරීම තුළ දක්නට නොලැබීමයි.

දේශපාලන පක්ෂ ලෙස මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්වන බොහෝ දෙනා පසුගිය වසර කිහිපයක මෑත අතීතය අමතක කරමින් දේශපාලන සූදුවක නියැළෙන බව පෙනීයන කාරණයක්. ‘බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනම ගේමක් සෙල්ලම් කරන්න’ පුළුවන් දේශපාලන සමාජයක් අපේ රටේ ඉන්න බව අපි අපේ ජීවිත කාලය තුළ අතදැකීම් වලින් දන්නවා.

නමුත් මේ තරම් අප සමාජයක් ලෙස ඇද වැටී තියෙන වෙලාවක ජන සමාජය සම්බන්ධ වගකීමකින්, ඒ ජනයා මුහුණ දෙන ජීවන අර්බුදයට විසඳම් දෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න දේශපාලන පක්ෂ අසමත් ඇයි? මැතිවරණයට දින නියම වෙලා තියෙන මොහොතක අපි කරන්න යන්නෙ මේකයි, කියලා ජනතාවට කියන්න බැරි, කැත දේශපාලන සෙල්ලම නවත්වන්න ඕන.

ඉදිරියට මේ ගැන වැඩිදුරටත් කතා කරමු!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *