Uncategorized

වාසු ලෙඩවෙයි – පවිත්‍රා තනිවෙයි – රත්නපුර පොහොට්ටු රනිල් දෙසට නැමෙයි

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින රත්නපුරේ ශ්‍රී රම්‍යා හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹුණහ.

සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08න් හතර දෙනෙකු පැමිණ සිටියහ.

ඒ ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල් එල්ලාවල සහ මුදිතා ප්‍රිශාන්ති මන්ත්‍රීවරියයි.

පොහොට්ටුවෙන් තේරී පත් වූ ‌  නිදහස් පක්ෂය නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මහතා දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසා තිබේ.

එම පක්ෂයෙන් තරඟ කළ ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා දැනට සජිත් ප්‍රේමදාස මහතාට එකතු වීමේ සුදානමක සිටින බවත් ආසන සංවිධායක ධූරයේ ගැටළුවක් නිසා එය ප්‍රමාද වී ඇති බවත් පැවසේ.

වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට අසනීප තත්ත්වය නිසා ඔහු නායකත්වය දැරෑ ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඉවත්ව සිටියි.

රත්නපුරේ පොහොට්ටු දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවමත් සිටින්නේ දොලොවක් අතරය. පැල්මඩුල්ල ආසනයේ පැවැති සිය ක්‍රියාකාරී හමුවකදී ඇයට බල කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමටයි. ඇය මෙතෙක් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

අද පැවැති සාකච්ඡාවේදී අනාවරණය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකවරු 08 දෙනාගෙන් 07 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පාලන ආයතන සංඛ්‍යාව 16කි. ඒ මහ නගර එකක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 13ක්  ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 160යි. ඉන් 150ක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සාමාජිකයන් වන පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06කි. ඔවුන් සියළු දෙනාම මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ තමන් තවමත් පොහොට්ටු සාමාජිකයකු බවයි.

කිසිසේත් පොහොට්ටුව අත්නොහරින බවත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් පැවසු ඇමතිවරයා තමන් මෙය හෘද සාක්ෂියට එකඟව ගත් තීරණයක් නිසා පක්ෂය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සුදානම් බවද කීවේය.

පක්ෂය යනු පාක්ෂිකයන් බවත් පාක්ෂික මතයට කන් නොදී පුද්ගලික මතයන්ට ඉඩ දි කටයුතු කළහොත් එවැනි පක්ෂවලට පැවැත්මක් නැති බව පැවැසූ ඇමතිවරයා පක්ෂය දැන්වත් පාක්ෂිකයන්ගේ හඩට කන්දිය යුතු බව අවධාරණය කළේය.

“මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි. මම තවමත් හදවතින් පොහොට්ටුවේ. මහින්ද මහත්තයා තවමත් මගේ පරමාදර්ශී නායකයා. පක්ෂය දෙකඩ වුනොත් වාසිය කාටද කියලා මම හොඳට දන්නවා. එහෙමයි කියලා මැයි 09 වැනිදා වෙච්ච දේ ආයෙත් අපේ පාක්ෂිකයන්ට වෙන්න දෙන්න බෑ.” යැයිද ඇමතිවරයා මෙහිදී කිවේය.

රැස්වීම ඇමතූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ මෙම රැස්වීමට කැඳවුයේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය දරණ මහජන නියෝජිතයන් පමණක් බවයි.

දේශපාලන අත්දැකීමක් නැති අයෙකුට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තමන් දැඩි ලෙස විරුද්ධ ලෙස පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රට බේරාගත් නායකයාට තමන්ගේ තිබෙන ආදරයේ වෙනසක් නොමැති වුවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම හැර පොහොට්ටු පාක්ෂිකයන් රැකීමට වෙනත් වැඩපිළිවෙලක් නොමැති බවද කීවේය.

“ඕබේ මතය අපේ මතය ජනතාවගේ මතය රනිල්ට. 29 වැනිදා වෙනකන් පක්ෂයේ බහුතර මතය තිබුණේ ඉදිරි වසර පහත් මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෙන්නයි. නමුත් 29 වැනිදා දේශපාලන මණ්ඩලය කියලා අපි නොදන්නා මිනිස්සුන් ගෙනල්ලා ඒ තීන්දුව වෙනස් කළා. අපි අපේ තීන්දුව ගත්තේ අපේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාව දැනුවත් කරලයි. එතුමා හිටියෙත් අපේ මතයේ. අපේ දිස්ත්‍රික් නායිකාව පවිත්‍රා ඇමතිතුමිය ගතින් එතැන සිටියත් හිතින් අපේ ළඟයි.

පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න අපි තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. පළාත් පාලන මැතිවරණය ඉක්මනින් තියලා ඔබේ ප්‍රශ්න විසඳනවා.”

මෙහිදී අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි. ගෙවි ගිය වසර දෙක තුළ රට වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් මෙය සිදුකරන බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කළේ කවුරු කුමක් කීවද රත්නපුර පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි.

මේ වනවිට පොහොට්ටුවේ සියයට 95ක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවත් ඉතිරි සියයට 05ද හෙට අනිද්දාම රනිල්ට වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එනු ඇතැයි අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

රැස්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.

@Repoter

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *