Latestවිදේශීය

ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසාදමයි

බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමේ.

ඩකා හි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඩකා ගුවන් තොටුපොළ පැය හයකට වසා දමන බව බංග්ලාදේශ හමුදාව පැවසූ බවයි.

ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශය වෙත පැමිණෙ ඇතැම් ගුවන් යානා ඉන්දියාව වෙත හරවා යවා ඇති බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ උත්සන්න වූ විරෝධතා අතරතුර ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙසට විරෝධතාකරුවන් කඩා වැදීමත් සමග 2009 වසරේ සිට එරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෂෙයික් හසිනා ඉන් පිටත්ව පලා ගියාය.

හෙලිකොප්ටර් යානයකින් ඇය සිය සොහොයුරිය ද සමග බංග්ලාදේශයේ ගුවන්හමුදා කඳවුරක් වෙත පැමිණි අතර එහි සිට බංග්ලාදේශ ගුවන්හමුදාවේ C 130 යානයකින් ඇය ඉන්දියාවේ හින්දන් ගුවන් හමුදා කඳවුරට පැමිණ ඇතැයි වාර්තාවේ.

එම ගුවන් යානය ඉන්දීය ගුවන් කලාපයට ඇතුළු වෙත්ම ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා ගුවන්ගත වී ආරක්ෂාව සලසන ලදී.

මේ අතරතුර බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය ඇමතීමට සැලසුම් කර තිබූ නමුත් හසිනා සුරක්ෂිතව පැමිණි බව තහවුරු කර ගන්නා තෙක් එම ප්‍රකාශය තෙවරක් කල් දැමුණු බවද කියැවේ.

අවසානයේ ජාතිය අමතා ඔහු පවසා ඇත්තේ අද රාත්‍රියේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි. එතෙක් පාලනය හමුදාව යටතට ගැනේ.

බංග්ලාදේශ ජාතියේ පියා ලෙස හඳුන්වන ,අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා ගේ පියා වන බංගාබන්දු ශෙයික් මුජිබර් රහුමන්ගේ පිළිරවක් වනසා දමන අයුරුද දක්නට ලැබිණ.

මේ අතරතුර ඉන්දියාව ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසිනා අද රාත්‍රියේ බ්‍රිතාන්‍යය බලා යනු ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ මිතුරියක වන ෂෙයික් හසිනා වෙත ඒ අනුව ඉන්දියාව ප්‍රමුඛස්ථානය ලබාදී පහසුකම් සලසනු ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *