Uncategorized

ජනාධිපතිවරණය – එදා මෙදා අමතක නොවන මතක

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය පිළිබදව වටිනා ලිපියක් බී බී සී සිංහල නාලිකාවේ පලවිය. එම සම්පූර්ණ ලිපිය පහතින්,

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඇතුළු මූලික කටයුතු මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතී.

1982 වසරේ පැවැත්වූ පළමු ජනාධිපතිවරණයේ සිට අවසන් වරට 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය දක්වා සුවිශේෂී අමතක නොවන සිදුවීම් රැසක් සිදුව ඇති අතර, ඇතැම් සිද්ධි අප්‍රකට ය.

මේ එවැනි සිදුවීම් පිළිබදව බීබීසී සිංහල සේවය කළ ආවර්ජනයකි.

01. උපන් දිනය දා භාර ගත් නාම යෝජනාව

මෙරට ඉතිහාසයේ පළමු වරට 1982 වසරේ පැවති ජනාධිපතිවරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මැතිවරණයක් විය.

ඊට මුලික හේතුව වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මෙන් ම හිටපු අග්‍රාමාත්‍යවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය වීම ය.

ඒ අනුව, 1978 වසරේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවීමට තීරණය කළේ ය.

1982 වසරේ පැවති ජනාධිපතිවරණ නාම යෝජනා භාර ගැනීම එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධනගේ උපන් දිනය දා එනම්, සැප්තැම්බර් මස 17 වන දා සිදු කිරීම විශේෂත්වයක් විය.

එම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව එවකට ජනාධිපතිවරයාව සිටී ජේ.ආර්. ජයවර්ධන ඡන්ද 34,50,811ක් ලබා ගනිමින් දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා තේරී පත් විය.

02. කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්

1988 වසරේදී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.

එම කාල සීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇති කළ බවට චෝදනා කරමිනි.

එම මැතිවරණයේදී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය.

එමෙන් ම, මෙම මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.

මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ, අපේක්ෂකයින් තිදෙනෙකු පමණි.

එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළහ.

1988 දෙසැම්බර් මස 19 වන දා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්විය.

03. වැන්දඹුවන් දෙදෙනෙක් ජනපති සටනට

1988 ජනාධිපතිවරණයෙන් පසුව වසර 3ක් ගත වීමට පෙර එක්සත් ජාතික පක්ෂය තුළින් ම ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් විය.

ඒ අනුව, 1992 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු සභා වාරය එම වසරේ අගෝස්තු මස 30 වන දා දක්වා කල් තබනු ලැබීය.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය ප්‍රතික්ෂේප කළ බවට කතානායක එම්.එච්. මොහොමඩ් විසින් 1992 වසරේ ඔක්තෝබර් මස 07 වන දා ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ලැබීය.

ඒ අනුව, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජී.ඇම්. මුනිදාස, ලක්ෂ්මන් සෙනවිරත්න ඇතුළුව එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ මන්ත්‍රීවරුන් පිරිස ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් අලුත් පක්ෂයක් පිහිටුවා ගත්හ.

1993 වසරේ පැවති මැයි දිනය සැමරීමේ පෙළපාළියකදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජිවිතක්ෂයට පත්විය.

ඒ අනුව, අගමැතිවරයා ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කරනු ලැබිණි.

1994 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වූ අතර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඔක්තෝබර් මස 07 වන දා නාම යෝජනා භාර ගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ගාමිණී දිසානායක ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර පක්ෂයෙන් නෙරපා හැර සිටි ඔහුට නැවත පක්ෂ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.

1994 වසරේ ඔක්තෝබර් මස 24 වන දා කොළඹ තොටළඟ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ රැලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඇතුළු 35 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.

ගාමිණී දිසානායකගේ අභාවය නිසා ජනාධිපතිවරණය සඳහා ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමති දිසානායක ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ ය.

1994 නොවැම්බර් මස 09 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමත් විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති ධූරය සඳහා පළමු වරට කාන්තාවක තේරී පත්වූයේ එහිදී ය.

04. අනූ නවයෙන් බේරුණු ජනාධිපති

1994 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති ධූරයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කළා ය.

1999 වසරේ ඔක්තෝබර් 20 වන දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අතර, නොවැම්බර් මස 15 වන දා නාමයෝජනා කැඳවනු ලැබී ය.

1999 වසරේ දෙසැම්බර් මස 19 වන දා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අවසානයේදී කොළඹ මහ නගර සභා භුමියේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ රැලියට එල්ල වූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තුවාල ලැබී ය.

එහිදී, හිසට සහ දකුණු ඇසට තුවාල ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙසැම්බර් මස 21 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබී ය.

05. “ආතතිය” ඇති වූ මැතිවරණ කොමසාරිස්

2010 වසරේ පැවති මෙරට සය වන ජනාධිපතිවරණය සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ දෙවන වරටත් ඉදිරිපත් විය.

එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන් හමුදාපති සරත් ෆොන්සේකා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට කටයුතු කළේ ය.

එහිදී, මෙරට ජනාධිපතිවරණයක් සඳහා පළමු වරට භික්ෂූන් වහන්සේ නමක් තරග කළේ ය. ඒ බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ය.

2010 ජනාධිපතිවරණයේදී ප්‍රතිපල නිකුත් කිරීම දැඩි කතාබහට ලක්වූ අතර ඇතැම් පිරිස් එය ‘කම්පියුටර් ජිල්මාට්’ ප්‍රතිඵලයක් ලෙස ද හැඳින්වූහ.

2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දෙවන වරටත් ජයග්‍රහණය කළේ ය.

06. ආප්ප සහ කෝපි ගැන කතාබහට ලක්වූ ජනාධිපතිවරණය

2015 වසරේදී පැවති ජනාධිපතිවරණය මෑත ඉතිහාසයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ ජනාධිපතිවරණයක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වූ අතර ඔහුගේ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් විය.

මහින්ද රාජපක්ෂ කදවුරෙන් මිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට එක්වූ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, තමන් මහින්ද රාජපක්ෂ හැර යාමට පෙර ඔහු සමග එකට ආප්ප කා කෝපි පානය කළ බව ය.

පසුව, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහු ආප්පයක මිල රු. 10ක් විය යුතු බවට මිල නියම කළේ ය.

එවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ශවය මෛත්‍රීපාල සිරිසේනගේ හැඩහුරුව ඇති පුද්ගලයෙකු සිය ඡන්ද ව්‍යාපාරයට යොදා ගත්තේ ය.

මෙම ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජය ගත්තේ ය.

ඉන් වසර කිහිපයක් ගත වෙද්දී රනිල් වික්‍රමසිංහ සමග විරසකයක් ඇති කර ගත් ඔහු යළිත් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කර මෙරට දින 52ක් පුරා පැවති නොසන්සුන් වාතාවරණය මැද ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීමට දායක විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *