Latestදේශීය

ලංකාවට පුලුවන් රනිල්ට බෑ – දයාසිරි ජයසේකර

රනිල් ශ්‍රීලංකාවට පුළුවන් යනුවෙන් දේශපාලන ප්‍රචාරණ වැඩසටහන් සිදුකලද 94 සිට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල් වික්‍රමසිංහට නැවතත් බවලයට ඒමට හෝ රටේ කිසිඳු සංවර්ධනයක් ඇතිකිරීමට නොහැකි බව ශ්‍රී ලංකාවට පුළුවන් යනුවෙන් පසුගිය දා (24) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එතුමා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සිටින කාල වකවානුවේ තමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළ බවත් එම නම යෝජනා කළ නිසා රනිල් වික්‍රමසිංහ විසින් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණ 7ක් ගෙන ආ බවත් එම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට සිදු වූ බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

“එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව පත් කරන්න උත්සහ ගත්ත අවස්ථාවේදී මට රනිල් වික්‍රමසිංහ මහතා විනය පරීක්ෂණ 7 ක් පැවැත්වුවා. පස්සේ මන්ත්‍රීධුරයත් තියලා මම එක්සත් ජාතික පක්ෂයෙන් එළියට පැමිණියා. එදා අපිට කරන්න බැරි වුණ වැඩේ සැප්තැම්බර් 21 වැනිදා අනිවාර්යෙන් සිදුකරනවා. ඒ අනුව සැප්තැම්බර් 21 වැනිදා රටේ නායකයා බවට අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතා අපි පත්කරනවා.

රනිල් වික්‍රමසිංහ කියනවා ශ්‍රී ලංකාවට පුලුවන් කියලා. ශ්‍රී ලංකාවට පුලුවන් වුණාට රනිල් වික්‍රමසිංහට බෑ. 1994 එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම සියයට 44 ක්. 1994 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 94 ක් සිටියා. නමුත් අවසානයේ 2010 දී එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්න රනිල් වික්‍රමසිංහට බැරි වුණා. පස්සේ 2015 දීත් එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්න රනිල් වික්‍රමසිංහට බැරි වුණා. 2019 දී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපෙක්ෂකත්වය දුන්නත් ඔහුට කිසිදු සහයක් රනිල් වික්‍රමසිංහ ලබාදුන්නේ නෑ. 2020 වනවිට එක්සත් ජාතික පක්ෂය අවසන් වුණා.

රනිල් වික්‍රමසිංහට පිරිසක් නැති නිසා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය භාර දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ අවසානයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 90 කට වරදාන වරප්‍රසාද දීලා ඔහු ලඟට ගත්තා.

ඒ වගේම රටේ පෝලිං යුගයක් තිබුණා. නමුත් ඒ පෝලිං යුගය අවසාන කළේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි. රට යථාතත්ත්වයට පත් කරන්න ඉන්දියාව ඩොලර් බිලියන 4 ක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ඩොලර් බිලියන 400 ක් ලෝක බැංකුවෙන් ගත්තා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කරපු දෙයක් නෑ. ඒදා ඩීසල් ලිටර් 4000 ක් දවසට භාවිතා කළානම් අද වනවිට දවසකට භාවිතා කරන්නේ ලීටර් 2500 යි. පෙට්ට්‍රල් ලීටර් 5000 ක් භාවිතා කළා නම් අද වනවිට දවසකට භාවිතා කරන්නේ ලීටර් 3000 යි. පොලිං යුගය නැතිවුණේ ඒ ආකාරයටයි.

ඒ වගේම පසුගිය අවුරුද්දේ රටේ ජනතාව කෝටි 19,000 ක රත්තරන් බඩු උකස් කරලා තිබෙනවා. එලෙස රත්තරන් බඩු උකස් කරලා තිබෙන්නේ කන්න බොන්න කෑම ටික ගන්න. ලක්ෂ 18 කට විදුලිබිල ගෙවා ගැනීමට නොහැකිව සිටියා. ඒ පිරිසෙන් ලක්ෂ 3 ක් නැවත විදුලිය ගත්තේ නෑ.

ඒ වගේම ගොවීන්ගේ වී මිලදී ගන්න බිලියන 7 ක් දෙනවා කියලා කෘෂිකර්ම ඇමැති කිව්වා. නමුත් ශත 5 ක් ගොවින්ට දුන්නේ නෑ. ගොවීන්ගේ වී කුණු කොල්ලයට මහා පරිමාන මෝල් හිමියන් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන රජයක් තුළ නැතව වී ගබඩා ඇති කරලා වී මිලදී ගන්න ස්ථාවර වැඩපිලිවෙළක් ඇති කරනවා.

ලංකාවේ බාර් පර්මිට් දෙන්න පුලුවන් 1104 යි. ඒ සඳහා නිතියක් තිබුණා. පසුගිය දා පාර්ලිමේන්තුවට අලුත් ගැසට් එකක් ගෙනල්ලා ඒ ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ එකතුවෙන මන්ත්‍රීවරයෙකුට බාර් පර්මිට් තුනක් දෙනවා. ඒ පර්මිට් විකුණුවාම එක පර්මිට් එකකට කෝටි 15 ක් ලැබෙනවා. ඒ වගේම වික්‍රමසිංහ මහත්තයා සමඟ එකතුවෙන මන්ත්‍රීවරුන්ට ඔනෑම අවියක් ගන්නත් හැකියාව ලබාදීලා තිබෙනවා. මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද වලට යටත් වුණාට රටේ ජනතාවට වරදාන වරප්‍රසාද වලට යට වෙන්නේ නෑ”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *