Latestවිදේශීය

නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් 6 දෙනකුගේ මළසිරුරු සොයා ගැනීමත් සමඟ ඊශ්‍රායලය පුරා ජනතා විරෝධය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ඊයේ එරට දැවැන්ත වැඩ වර්ජනයක් පැවැති බවත්, ඊශ්‍රායලයේ විශාලතම කම්කරු සංගමය එම වැඩවර්ජනය සංවිධාන කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට ව්‍යාපාරික ස්ථාන වසා දමා ලක්ෂ සංඛ්‍යාත ජනතාව වර්ජනයට එක්වූ බවත්, ටෙල් අවීව් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් මෙහෙයුම් ද පැය දෙකකට අධික කාලයක් අත්හිටුවා තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හමාස් සංවිධානය සමඟ වහාම සටන් විරාම ගිවිසුමකට එක් නොවන්නේ නම් ඊශ්‍රායලයේ මුළු ආර්ථිකයම කඩාකප්පල් කරන බවට කම්කරු සංගමය රජයට අනතුරු අඟවා ඇති අතර, ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස වෙනුවෙන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතු බවට ද බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි ඉල්ලීම මත ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා දින තුනක තාවකාලික සටන් විරාමයකට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය එකඟතාව පළ කිරීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකුගේ මළසිරුරු සොයා ගත් බව පෙරේදා ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කිරිමෙන් පසු එදින රාත්‍රියේ ලක්ෂ 7කට ආසන්න ඊශ්‍රායල ජනතාව වීදි බැස විරෝධතාවක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිසිය හා කැරලි මර්දන කණ්ඩායම් ජනතාව විසුරුවා හැරීමට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත්, කුපිත වූ ජනතාව පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *