Latestදේශීය

අතරමැදි පෙත්සම 13 කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරතන, කොල්ලුපිටියේ රාහුල හා මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිපාණන් වහන්සේ තෙනම විසින් ගොනුකර ඇති අතරමැදි පෙත්සම ලබන 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා (06) නියෝග කළේය.

පසුගිය ජූලි 24 වැනිදා පෙරකී අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී අතරමැදි පෙත්සම සලකා බැලීම සඳහා පත්කිරීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා ලෙසටද යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළහ.

ඒ අනුව පසුගිය ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කළ යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී එකී අතරමැදි පෙත්සම කැඳවීම සිදුකරනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එකී අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට පාදක වූ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙස තමන් වෙනුවෙන් සිය නීතිඥවරුන්ට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් එකී භික්ෂුන් වහන්සේ සිය අතරමැදි පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

තමන් වෙත එකී අතරමැදි පෙත්සමට අදාළ ලේඛන කිසිවක් මේ දක්වා ලැබී නොමැති බව මුල් පෙත්සම්කාර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දුන් අතර තමන්ටද අදාළ ලේඛන ලැබී නොමැති බව සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විනිසුරු මඬුල්ලට දැනුම් දුන්හ. එකී සියලු පාර්ශ්ව වලට අදාළ සියලු ලේඛන ලබන සඳුදා වනවිට ලබාදීමට තමන් පෞද්ගලිකව මැදිහත් වී පියවර ගන්නා බව අතරමැදි පෙත්සම්කාර භික්ෂුන් වහන්සේ තුන්නම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. මුල් මූලික අයිතිවාසිකම් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටින සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඉදිරි සති දෙක කොළඹින් බැහැරව සිටින බැවින් සති දෙකකට පසුව එම අතරමැදි පෙත්සම කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා එකී අතරමැදි පෙත්සම කඩිමුඩියේ කැඳවීමට තරම් පවතින අවශ්‍යතාවය කුමක් දැයි විමසා සිටියේය. පෙත්සම්කාර පාර්ශ්වයට එය හදිසි කරුණක් නොවුණත් තම පාර්ශ්වයට එය කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය ඇති බවත් කඩිනමින් කැඳවන ලෙසට ඉල්ලා සිටින කරුණු පෙත්සම මගින් පෙන්වා දී ඇති බවත් අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එම පැනයට පිළිතුරු දෙමින් පැවසීය. එකී අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇති නම් සෙසු පාර්ශ්වවලට පිටපත් යොමුකර සති දෙකක කාලයක් ඇතුළත තම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද විනිසුරු මඬුල්ල දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් නමය ලබන නොවැම්බර් 11 වැනිදා විභාගයට ගැනීමට පසුගිය ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කොට තිබිණි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *