Latestදේශීය

රනිල්ට බෑ – සජිත් ප්‍රේමදාස

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය දිනන්න කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම නිසා දැන් කොළ අලි සහ රතු අලි පැටව් අද එකට එක්ව සිටින අතර ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් යැයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිනුවන්ගොඩ දී පැවසීය.

මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පෙරේදා (05 දා) මිනුවන්ගොඩ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීය.

බොහෝ දෙනෙක් දැනගෙන සිටි කරුණක් මේ වනවිට හෙළි දරව් වෙලා. අනුර දිසානායක ජනාධිපතිවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස බව ඔහු ප්‍රකාශ කළා. කොළ අලි පැටව් සහ රතු අලි පැටව් අද එකට සිටින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් දිනන්න කිසිදු අවස්ථාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඔවුන් ඡන්දය නාස්ති නොකර මේ රට ගොඩනගන්නට එම වරම සමගි ජන සන්ධානයට ප්‍රමුඛ අපගේ කණ්ඩායමට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක්. ඒ වගේම රාජ්‍ය මාධ්‍යවල අනුර දිසානායකට ලොකු අවකාශයක් ලබාදී තිබෙනවා. රනිල් අනුර ගිවිසුම අද සත්‍යයක් වෙලා තිබෙන බව එයින් පැහැදිලි වෙනවා.

ඔවුන් බයයි අපි මේ රට ගොඩගනී කියලා. ඔවුන් බයයි අපි මේ රට සංවර්ධනය කරයි කියලා. ඔවුන් බයයි මේ රටේ අපි නිවාස ඉදි කරයි කියලා. ඔවුන් බයයි රටේ නිෂ්පාදන කර්මාන්ත ඉදිකරයි කියලා. ඔවුන් බයයි රජයේ පාසල් සුහුරු පාසල් බවට අපි පත් කරයි කියලා. ඔවුන් බයයි රටේ සෞඛ්‍ය ක්ශේත්‍රය අපි ශක්තිමත් කරයි කියලා. ඔවුන් බයයි සමගි ජන සන්ධාන රජයක් තුළ මේ රටේ ලක්ෂ 220 රජ වෙන යුගය නිර්මාණය වෙනවාට. ඒ නිසා රනිල් අනුර ගිවිසුම ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා.

නමුත් රටේ ලක්ෂ 220 ක් ජනතාව අමනෝඥයින් නෙවෙයි. රටේ ජනතාව මෝඩයන් ලෙස හිතාගෙන තමයි රනිල්ගේ සහ අනුරගේ කණ්ඩායම් හැසිරෙන්නේ. රනිල්ගේ සහ අනුරගේ කූඨ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව රටේ සියලුම දෙනා දන්නවා. ඒ නිසා රට ගොඩගන්න අවශ්‍ය ශක්තිමත් ජනවරම බය නැතිව අපට ලබාදෙන්න මේ රට අපි අනිවාර්යෙන් ගොඩගන්න කටයුතු කරනවා.

බංකොලොත්වුණ රටක් ගොඩගන්න විශාල සංවර්ධනයක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත යුතුයි. මේ රටේ වසර 76 ක් සේවාවන් සිදුවුණේ රාජ්‍ය බලයත් සමඟයි. කවුරුත් විපක්ෂයේ සිටිමින් රටට වැඩක් කරලා නෑ. නමුත් බලයක් නොමැතිව රටට වැඩක් කරලා අපි ඔප්පු කරලා තිබෙනවා. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනගන්න අපි මිලියන 1000 ක වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කර තිබෙනවා.

ඒ නිසා අපි අපේ ජනවරම ලබාගෙන රටේ ජනතාව අපිට ලබාදෙන තාවකාලික භාරකාරත්වය ලබාගෙන රට ගොඩගනියි කියලා අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ බයයි. රට ගොඩනගන අපේ යෝජනාවලට ඔවුන් සිදුකරන්නේ විහිළු කරන එකයි. 2019 දීත් විහිළු කළා. නමුත් ඒ විහිළුවෙන් රට බංකොලොත්භාවයට පත් වුණා. වර්තමාන රජයත්, ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාත්මක කරන බොරුවට ජනතාව රැවටෙන්න එපා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට හෝ අනුර දිසානායක මහත්තයාට හීනෙකින් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් මගේ කණ්ඩායම සමඟ මගේ මාතෘ භූමියට රැගෙන එනවා. ඒ රැගෙන එන්නේ ණය නෙවෙයි ආධාර. ඒ තුළින් රටේ නිවාස හදන්න, රටේ නිෂ්පාදන කර්මාන්තශාලා නිර්මාණය කරන්න , අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කරන්න අපි කටයුතු කරනවා.

මේ රටේ විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයට පත්වෙලා. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකට මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සදාකාලිකව ආධාර ලබන මානසිකත්වයක් අපේ රටේ ජනතාවට නෑ. රජයේ වහලුන් බවට පත්වෙලා ජීවත් වීමේ අදහසක් ජනතාව තුළ නෑ. ජනතාව අවශ්‍ය වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ එන්න.

ඒ වගේම ක්ෂුද්‍ර කුඩා කර්මාන්ත අපේ රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙනවා. ක්ෂුද්‍ර කුඩා කර්මාන්ත අද කඩාගෙන වැටිලා. ඔවුන්ට ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙලා. ඔවුන්ට අපි ශක්තියක් වෙන්න ඕන. තිබෙන කර්මාන්ත ශක්තිමත් කරනවා වගේම ලක්ෂ 10 ක් නව ව්‍යවසායකයින් බිහි කරන්න අපි කටයුතු කරනවා. ඒ අවස්ථාව රටේ තරුණ්‍යයට අපි ලබාදෙනවා.

2019 පස්සේ රටේ ගෙවල් හදන යුගය නතර වුණා. ගෙවල් හදන්න අයවැයේ මුදල් අවශ්‍ය වෙන්නේ නෑ. රටේ ගෙවල් හදන්න ආධාර දෙන්න රටවල්, ධානපතින්, ආයතන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී, ජනහිතකාමී රජයක්. නැහැ බැහැ බලමු කියන වචන අපේ ශබ්ද කෝෂයේ නෑ. 2048 වෙනතුරු බලා සිටින්න අවශ්‍ය නෑ. අපි අපේ මාතෘ භුමිය අනිවාර්යෙන් ගොඩනගනවා. ගම් හදා නගර හදා රට ගොඩනගන්න අපි කටයුතු කරනවා.

රනිල් අනුර සන්ධානයට කතිරය ගහලා ඡන්ද අපතේ යවන්න එපා. රනිල් අනුර සන්ධානය දැන් ලියාපදිංචි වෙලා තිබෙන්නේ. රනිල් අනුර සන්ධානය පරාජය කරලා ලක්ෂ 220 ක් රටේ ජනතාව දිනවන්න සමගි ජන සන්ධානය ජයග්‍රහනය කරවන්න. මිනුවන්ගොඩ ව්‍යාපාරිකයක් කප්පම්කරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් වෙනකොට ඔවුන් වෙනුවෙන් හඬ නැගුවේ සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පමණයි. අපි ඒ බව එළිපිට කතා කළා. සැප්තැම්බර් 21 න් පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමට, කුඩු ජාවාරමට, කප්පම් කරුවන්ට මිනී මරුවන්ට මාතෘභුමියේ කිසිදු ඉඩක් ලබාදෙන්නේ නෑ. නීතිය හා සාමය ශක්තිමක් කොට නීතියේ අධිපත්‍ය ශක්තිමත් කරන පොදුජන යුගය අපි බිහිකරනවා.

එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා,

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳවැටී ඇති රටක්, දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගි තිබෙන රටක් , විශ්වාසය පළුදු වෙලා තිබෙන රටක්, එහෙම රටක් ගොඩගන්න විශාල ව්‍යායාමක අපිට යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ ව්‍යායාමයේ යෙදෙන්න නම් නිවැරදි නායකයෙක් අපි තෝරාගත යුතුයි. ඒ සඳහා කලපුරුද්ද, පලපුරුද්ද, දක්ෂතාවය තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි.

එහිදී අදහස් දැක්වූ නාලක ගොඩහේවා මහතා

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අපි ඉවත් වුණේ අරගලයට පෙරයි. ගෝඨාභය රාජපක්ෂ යන මාර්ගය වැරදියි කියලා අපි එහිදී ප්‍රකාශ කළා. පසුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 13 දෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙලා විපක්ෂයේ අසුන් ගත්තා. ඒ මන්ත්‍රීවරුන්ගෙන් 6 දෙනෙක් මුලින්ම තීන්දු කළා සජිත් ප්‍රේමදාස මහත්තයාට සහාය දෙන්න. රට ගොඩගැනීමට හැකියාව තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව අපි එදා තේරුම් ගත්තා.

එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා :

මට එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහත්තයාව පත් කරන්න නොහැකි වුණා. නමුත් මෙවර මම සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරන්න නෙවෙයි රටේ ජනාධිපති කරන්නයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පුලුවන් ශ්‍රී ලංකා කියලා. පුලුවන් රටේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට නමුත් රනිල් වික්‍රමසිංහට බෑ කියලා පසුගිය අවුරුදු 42 දීම ඔප්පු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිවරණ 30 ක් පරාදයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *