Latestදේශීය

විශ්වාසය අබමල් රොනකින්වත් නැතිවෙන්න ඉඩ තබන්නේ නැහැ – අනුර දිසානායක

ගම්වල ජීවත්වෙන මිනිස්සු මොනවා හරි කරලා ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙලා ඔහේ මියයන තත්ත්වය වෙනස් කර තම ජීවිත කාලය සතුටින් නිරෝගීසම්පන්නව ජීවත් වන තත්ත්වයට පත්කිරීම ජාතික ජන බලවේගයේ වගකීම බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ‘රට අනුරට’ යන මැයින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සදහා ඊයේ (09) තඹුත්තේගමදී පැවති ජන රැලිය අමතමින් ඔහු මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට යමක් කළා නම්. ජනතාව දුක් පීඩාවෙන් මුදා ගත්තා නම්. දශක ගණනාවක් මාත් ඇතුළු ඔබ මේ ව්‍යසනය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධිෂ්ඨානශීලී මිනිස්සු. අරමුණ අත්නොහරින මිනිස්සු.

මම මේ දේශපාලන ගමන පටන් ගත්තේ 1988දී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවුරුදු 36ක් ගත වී තිබෙනවා. අපි විවිධ මර්දනයන්ට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදිරිපිට අපේ යහළුවන් මිය ගිය හැටි අපි දැක්කා. මරණය අපේ එළිපත්තට ආවා. එහෙත් මේ රටත්, ජනතාවත් මේ ව්‍යසනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානය අපි අත්හැරියේ නැහැ. 1994දී නැවත යාන්තම් අපි නැගිටින්න පටන් ගත්තා. ජයග්‍රහණ ආවා. පසුබෑම් ආවා. සමහරු අත්හැරලා ගියා. අවලාද ආවා. අසත්‍ය තොරතුරු එන්න පටන් ගත්තා. කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. එහෙත් මේ ව්‍යායාමය කවදා කොතැනක හෝ ජයග්‍රහණය කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි අතහැරියේ නැහැ. මේ අවුරුදු 36 ඇතුළත අවුරුදු 24ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

අපි මේ දේශපාලනයෙන් සතයක් උපයාගෙන නැති පිරිසක්. මහජනයාගේ ධනය අපි සතයක් නාස්ති කරලා නැහැ. අපි කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ චේතනාවෙන් දේශපාලනය කරන මිනින්සු නොවෙයි. අපිත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ලබනවා. රැකියාවක් කරලා පෞද්ගලිකව යම් ජීවන තත්වයක් අනුව ජීවිතය ගෙනයන්න පුළුවන් මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න වසන්ත සමරසිංහ සහෝදරයාටත් එහෙමයි. අපිට අපේ පෞද්ගලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලන පැත්තෙනුත් පාරවල් තිබුණා. නමුත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපිට යුක්තිසහගත අයිතියක් නැහැ. මේ ඈත ගම්වල මිනිස්සු කොතරම් පිරිසක් දුප්පත්භාවයෙන් පෙළෙනවාද? අපේ ඥාතීන්, මිතුරන් මේ දුප්පත්භාවයේ ගිලිලා ජීවිත නැතිකරගත් අවස්ථා අපි දැක තිබෙනවා. මහා විශාල බලාපොරොත්තු සහිතව හදන වඩන තමන්ගේ දරුවා නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වෙන හැටි බලාගෙන හූල්ල හූල්ල ඉන්න, දෙමව්පියන්ට සිදුවෙලා. මේ ගම්වල පවුල්වල තම දරුවන් දාලා, ස්වාමි පුරුෂයන් දාලා, මොනතරම් අපේ අම්මලා, අපේ සහෝදරියෝ මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවලට ගිහිල්ලා තිබෙනවාද? ඒ පවුල්වලින් කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවාද? මැදපෙරදිග ගිය අපේ අම්මලා අක්කලා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙනවා.

අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා. මොනවා හරි කරනවා. ඔහේ මිය යනවා. අපිට උරුම විය යුත්තේ එහෙම ජීවිතද? නැහැ. අපේ ජනතාවට තම ජීවිත කාලය තුළ සතුටින් හොඳ ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෑ නැද්ද? ඒ ජීවිතය උරුම ඒ පැළැන්තියට විතරද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමග පොරබදනවා. අස්වැන්න විකුණ ගන්න කොච්චර දුක්විඳිනවාද? නමුත් ඒ ගොල්ලෝ උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය, හොරකම් කරන්නේ කොහොමද, කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදා ගන්න කොච්චර වද විඳිනවාද? ඒ ගොල්ලෝ එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභොගී, එපාර්ට්මන්ට් ගන්නවා. එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඕස්ටේ්‍රලියාවෙන් ගෙවල් ගන්නවා. ඇමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ ගොල්ලන්ට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ ගොල්ලෝ රටේ ධනය පොදිගහගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නැහැ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. එවැනි දේශපාලනයේ දිගටම නියැලිලා ඉන්න කොට අපි දැක්කා මේ මිනිස්සු මොනතරම් ලැජ්ජා නැති අයද කියලා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් ඉන්නවා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපා ගන්නේ කොහොමද කියලා බලනවා. ජනතාවට වළ කපමින් ඒ ගොල්ලෝ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් ගිය අය, අද මහා මන්දිර හදා ගන්නවා. වාහන හත අට ගන්නවා. අපේ ඇස් දෙකෙන් අපි දැක තිබෙනවා. රියදුරු රැකියාව කරපු සමහරු දේශපාලනයට ඇවිල්ලා කලා වැවේ, කොළඹ, නුවරඑළියේ විශාල පරිමාණ ඉඩම් ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. තේ දළු ප්‍රවාහනය කරපු උදවිය, දේශපාලනයට ඇවිල්ලා තේ වතු හිමියන් බවට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා.

රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 08 වැනිදා බලයට ආවේ වංචා, දූෂණ නැති කරන්න කියලා. පෙබරවාරි මස 28 වැනිදා මහ බැංකුව කොල්ල කෑවා. බලය ගත්තෙම හොරකම් කරන්න. නාස්තිය සඳහාමයි. ඉන් පස්සේ මොකද වුණේ. රට කඩාගෙන වැටුණා. දරුවාට අධ්‍යාපනය අහිමි වුණා. රෝහල්වල බෙහෙත් නැති වුණා. චිත්‍රපට ශාලා වැහුණා. පොදු ජනතාවට විනෝදය අහිමි වුණා. මේවා අපි ඇස් ඉදිරිපිට දැකපු දේවල්. අපිත් සමග හිටපු යාළුවන්ගේ ජීවිත කෙළවර වූ හැටි අපි අපේ ඇස් ඉදිරිපිටම දැකපු මිනිස්සු. අපිට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපිට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපිට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට අයිතියක් නැද්ද? අසල්වැසි ඉන්දියාව පරණ කෝච්චි එන්ජින් ගලවා විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාවට නගනවා. මේ පාලකයන් ගිහිල්ලා ඒ පරණ එන්ජින් තෑගි හැටියට එකතු කරගෙන එනවා.
ලෝකය දියුණුවෙනවා. අපි හිඟාකනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැගෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයෝ විනාශ කරලා දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත ඇති කරලා හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න කවදාවත් ඕනෑ වුණේ නැහැ. වසා දමනවා විතරක් නොවෙයි තිබෙන ඒවත් විකුණනවා. හදන්නෙම විකුණන්න. හදනකොටත් ගහනවා. විකුණනකොටත් ගහනවා. නඩු තීන්දුවට මුවාවෙලා පොස්පේට් නිධියේ පස් ඉන්දියාවට පටවනවා. ඉන්දියාව පොහොර හදනවා. අපි පස් පටවනවා.

මාවිල්ආරුසොරොව්ව වහපු වෙලාවේ කුඹුරු පාළු වුණා. ආණ්ඩුව තීරණය කළා වන්දි ගෙවන්න. වැඩියෙන්ම වන්දි ගත්තේ එස්.එම්. චන්ද්‍රසේන. මා ගාව තිබෙනවා සියලු විස්තර කොළඹ තිඹිරිගස්යායේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් සල්ලි දැම්මා අනුරාධපුර ශාඛාවට. එස්.එම්. චන්ද්‍රසේනගෙයි, නෝනාගෙයි ජොයින්ට් එකවුන්ට් එකට. චෙක්පත්වල පිටපත් මා ගාව තිබෙනවා.

අපේ ගම්වල ජනතාව සමග අපිට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ලෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. මේ රටට වින කටිපු, මේ රට විනාශ කරපු, මේ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබ අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ලෙන්ගතුකම අප කෙරෙහි ඇතිවෙලා තිබෙනවා. අපි සමග බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ලෙන්ගතුකම අබමල් රොනකින්වත් නැතිවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.

රට වනසපු නිල්, කොළ පාලකයෝ ගෙදර යවන්න ජනතාව පුල පුලා බලා ඉන්නවා
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ

අද මෙතන එකතුවෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව මීට පෙර විවිධ පක්ෂවලට සහාය දීලා, ඡන්ද දීලා වැඩකරපු අය. ඒ ඔක්කොම එකට එකතු වෙලා අද රටට දෙන පණිවුඩය මොකක්ද? ඒ, 21 වැනිදාට නියත වශයෙන්ම අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත් කරන්න ඔක්කොම එකතු වෙලා රොද බැඳගෙන ඡන්දය දෙන්න සූදානම් බවයි.

අද මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය අනුර කුමාර සහෝදරයාට ලබාදී තිබෙනවා. ඉතිහාසයේ විශාලම සංඝ සම්මේලනය පවත්වලා ඒ පණිවිඩය උන්වහන්සේලා මුළු රටටම එක හඬින් ප්‍රකාශ කර සිටියා. මේ 21 වැනිදාට අපේ රටේ 09 වැනි ජනාධිපතිවරයා තෝරන්න යනවා. ඒ නිකම්ම නිකම් ඉතුරු කොට අදින ජනාධිපතිවරයෙක් නොවෙයි. මේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා කෙනෙක්. මේ රටේ මහා සංඝරත්නයේත්, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේත් ආශිර්වාදය එක ලෙස ලබන එකම ජනාධිපති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයායි. සැප්තැම්බර් 21දා ඔහු නියත ලෙස මේ රටේ ජනාධිපති වෙනවා.

අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේත්, මේ රටේ මිනිසුන්ගේත් ඒකායන අරමුණ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන්න මේ මහ පොළොවේ යථාර්ථයක් කිරීමයි. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, කඳුරට ඇතුළු මුළු රටම එකතු කරගෙන මේ රට ගොඩනඟන අපේ ඉතිහාසයේ එකම නායකයා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ලබන 21 වැනිදාට මුළු රටේම ජනතාවගේ අපේක්ෂාව අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයයි. ඒ සඳහා ගෞරවණීය ජයග්‍රහණයක් මේ ප්‍රදේශයෙනුත් එකතු කරන්න තමයි අද ඔබ මෙතනට රොද බැඳගෙන ඉන්නේ. මේ වන විට අනෙක් පක්ෂවල නායකයෝ ඡන්ද වැඩ පැත්තක තියලා අපිට එරෙහිව මඩ වැඩ පටන් අරන් තියෙනවා. නමුත් මේ කෙටිකාලය තුළ හැකි තරම් ජනතාව අතරට ගිහිල්ලා මාලිමාව දිනවන්න වැඩ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

දැන් රනිල් සජිත්ලා ප්‍රතිපත්ති කතා කරන්නේ නැහැ. සජිත් දැන් රූපවාහිනී සාකච්ඡාවලට එන්නෙත් නැහැ. පැනලා දුවනවා. අපිට මඩ ගහනවා ඇරෙන්න, කියන්න දෙයක් ඒ ගොල්ලන්ට නැහැ. මේ රටේ අනාගත නායකයා වීමට සුදුසු එකම නායකයා තමා බව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් තම භාවිතයෙන්ම අද ඔප්පු කර තිබෙන්නේ අපේ අනුර සහෝදරයා පමණයි. රනිල් දන්නවා මේ ජනාධිපතිවරණයෙන් රනිල් පරදිනවා කියලා. ඒ නිසා තමයි ඔහු කියන්නේ, අනුර කුමාරව පරද්දන්න සජිත්ට බැහැ කියලා. අපි කියනවා අනුරව පරදවන්න සජිත්ටත් බැහැ. රනිල් ඔයාටත් බැහැ. රනිල්ලා එක පැත්තකින් මේ රටේ ජාතික ධනය ශුද්ධ කරන ගමන් රට විකුණමින් ඉන්නවා. අපේ රටේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍රයක්වත් ගන්න තිබෙන අවස්ථාව නැති කරලා. අද අයිඩෙන්ටි කාඩ් එක වෙනුවට හම්බවෙන්නේ කොල කෑල්ලක්. ලයිසන් එක වෙනුවට දෙන්නෙත් කොල කෑල්ලක්. මේ රට වනසපු නිල්, කොළ පාලකයෝ ඉක්මනින්ම ගෙදර යවන්න මේ රටේ ජනතාව 21වැනිදා උදා වෙනකල් දැන් පුල පුලා බලා ඉන්නවා.

අද අනුර සහෝදරයා ප්‍රමුඛව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම සඳහා මේ රටේ එකතු විය යුතු සියලු බලවේග එකතු වෙලා එකා වන්ව සැදී පැහැදී සිටිනවා. මේ සැප්තැම්බර්21 වැනිදාට අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන බව සහතිකයි. ඉන්පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රට තුළ පිහිටුවනවා ඒකාන්තයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *