Latestදේශීය

ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කිරීමට ශීතාගාර ඇතිකරනවා – සජිත් ප්‍රේමදාස

ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කිරීම සඳහා ශීතාගාර පහසුකම් ඇති කිරීමටත්, කිරි ගොවීන් රැක ගැනීමටත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගිය 08 වැනිදා වැලිමඩ, ඌව පරණගම පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වැලිමඩ අර්තාපල් ගොවියා රැක ගන්න අපි කටයුතු කරනවා. සහන ක්‍රමයකට අර්තාපල් බීජ දෙනවා. අර්තාපල් ගොවියා අස්වැන්න නෙළන විට පිටරටින් අර්තාපල් ගෙන්වන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. ඒ අසාධාරණය වැලිමඩ අර්තාපල් ගොවියාට වගේම දඹුල්ලේ ලූනු ගොවියාටත් සිදු කරනවා. සමගි ජන සන්ධාන රජයකින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා වන නව රටාවක් අපි නිර්මාණය කරනවා.

ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කිරීමට ශීතාගාර පහසුකම් ඇති කරනවා. කිරි ගොවීන් රැක ගන්න විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ගම්මිරිස් ගොවීන් රැක ගන්නවා. ගොවීන්ට හරිතාගාර ඉදිකිරීමට සහන ණය ක්‍රමයක් දෙනවා. මල් වගාව ප්‍රචලිත කරන්නත් අපි කැප වෙනවා. වැලිමඩ, ඌව පරණගම අර්තාපල් ගොවීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඬ නඟා, ඔවුන්ගේ යෝජනාවලිය මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නත් කටයුතු කළා. ඒ අනුව ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටිය රුපියල් 5000කට දීමට කටයුතු කරනවා.

අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ කියනවා මේවා සිදු කරන්න මුදල් නෑ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහට සල්ලි තිබෙනවා කෝටිපතියන්ට බදු සහන දෙන්න. පොලු තියපු සුපිරි කෝටිපතියන්ගේ කෝටි ගණනක මුදල් කප්පාදු කරන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනා ණයවලින් නිදහස් කරන්න කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ පොලියත් කපලා. සල්ලිකාරයාට ඕන ඕන විදිහට කටයුතු කරන යුගය අවසන් කරන්න, රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් පොදු ජන යුගය බිහි කරන්න ඔබ සියලු දෙනාට එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යන විට පහර දුන්නේ විශ්‍රාමික ජනතාවගේ අරමුදල්වලට. සේවක අර්ථසාධක අරමුදල පික් පොකට් ගැහුවා. සේවක භාරකාර අරමුදලට පික් පොකට් ගැහුවා. එහෙම ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ. ඒ ආණ්ඩුවේ හොඳම ගෝලයා බවට පත් වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක. රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සමඟ ගිවිසුම්ගත වූ ජනතා විමුක්ති පෙරමුණ පවසනවා කිසිදු ආණ්ඩුවක කටයුතු කළේ නෑ කියලා. අනුර දිසානායක කෘෂිකර්ම වාරිමාර්ග ඇමැති ධුරය අරගෙන කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිවක් කළේ නෑ.

කෙසේ නමුත් රට ගොඩනඟන හොඳම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ. රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න අපි කැපවී කටයුතු කරනවා. මේ 21 වැනිදා මේ රටේ ජනතාව අපට රටේ වගකීම දුන් පසු ජනතාව වෙනුවෙන් ලොකුම කැප කිරීම කරන්නේ සජිත් ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම. අපි ජනතාව වෙනුවෙන් කැප කිරීම් කර පෙන්වන්නම්. මගේ සේවාව මේ මාතෘ භූමිය වෙනුවෙන් දෙන්නේ කිසිදු වේතනයක් ගන්නේ නැතිව. මම ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරනවා. මුළු බදුලු දිස්ත්‍රික්කයම සංවර්ධනය කරන්න බදුලු දිස්ත්‍රික් සංවර්ධන ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවන්න කටයුතු කරනවා. ඒ හරහා බදුලු දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම දියුණු කරනවා. බදුලු දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම ජීවත් වන සියලු දෙනාම වෙනුවෙන් ශක්තිය දෙනවා.

බදුලු දිස්ත්‍රික්කයේ තාරුණ්‍යය වෙනුවෙන් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආසන මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කරනවා. බදුලු දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය සුහුරු පාසල් බවට පත් කරනවා. බදුලු දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය සුහුරු රෝහල් බවට පත් කරනවා. ඒ අනුව නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරකිනවා.

ලක්ෂ 10ක නව ව්‍යවසායකයන් බිහි කරන්න අපි කටයුතු කරනවා. ඒ වැඩසටහන තුළ බදුලු දිස්ත්‍රික්කයේ හැකියාව, දක්ෂතාව, නිපුණතාව තිබෙන යොවුන් පරපුරට ශක්තිය දෙනවා. බදුලු දිස්ත්‍රික්කයේ වර්තමානයත්, අනාගතයත් ශක්තිමත් කරන්න මමත් මගේ කණ්ඩායමත් භාර ගන්නවා. සමගි ජන සන්ධාන රජයකින් දූෂණය සහ වංචාව තුරන් කරනවා. රටට අහිමි වූ සම්පත් නැවත ගෙන ඒවා රටේ දියුණුවට යොදවනවා. ”

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා

“මම ආණ්ඩුකාර ධුරය බාල්දු කළේ නෑ. නමුත් අනෙකුත් ආණ්ඩුකාරවරුන් එම තනතුරේ තිබෙන ගරුත්වය පැත්තකට දාලා දේශපාලනය කරනවා. මටත් ආණ්ඩුකාර ධුරය තියාගෙන සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. මම ඉල්ලා අස්වෙලා තමයි සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වුණේ. ආණ්ඩුකාරවරුන් අට දෙනාම ඉන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ. ”

නලින් බණ්ඩාර මහතා

“සමගි ජන සන්ධාන රජයකින් ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටියක් රුපියල් 5000කට දීමට කටයුතු කරනවා. වැලිමඩ ගොවීන් අල ගලවන කාලයට ආණ්ඩුව පිටරටින් අල ගේන්න කටයුතු කරනවා. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ අල ගොවියාගේ අස්වැන්නට හානියක් වන ආකාරයට අල ආනයනය කරන්න කටයුතු කරන්නේ නෑ.”

වැලිමඩ ආසනයේ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර සමරවීර මහතා

“ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය අර්තාපල් ප්‍රමාණය නිෂ්පාදනය කර දෙන්න වැලිමඩ අල ගොවීන් සූදානම්. ඒ නිසා පිටරටින් අල ගෙන්වීම සම්පුර්ණයෙන් නතර කර දෙන්න කියලා අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. ”

දයාසිරි ජයසේකර මහතා

“අපි 2010 සජිත් මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරවමු කියලා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉඳන් සටන් කළා. සජිත් ප්‍රේමදාස මහතා නායකයා කරන්න ගිහිල්ලා මට මන්ත්‍රීකම දාලා යන්න වුණා. මම නැවත එකතු වුණේ පක්ෂයේ නායකයා කරන්න නෙමෙයි රටේ ජනාධිපති කරවන්න.”

චමින්ද විජේසිරි මහතා

“මේ රට නැවත විකෘති කරන්න සමහර උගත්, වියත් කියන සමාජය දඟලනවා. 2019 ඒ පාපකර්මය නිර්මාණය කර රට නන්නත්තාර කරන්න කටයුතු කළා. බුද්ධිමත් ජනතාව හැටියට මතක තබා ගන්න රටට වෙනස ඇති කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා හැර වෙන කවුරුත් නෙවෙයි කියන කාරණය.”

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *