Latestදේශීයමතවාද

විරාජ් මෙන්ඩිස් : අපේ කාලයේ විශ්මිත මානවවාදී ගුරු තරුව

(තිලක් කෝදාගොඩ)

විරාජ් මෙන්ඩිස් යනු අපේ කාලයේ විශ්මයජනක වූ ක්‍රියාශීලී දේශපාලන ක්‍රියාදරයාය.එමෙන්ම, ඔහු අපේ කාලයේ විශ්මයජනක වූ මානවහිතවාදියාය. අප ජීවත්වන ධනවාදයේ මේ යුගයේ එවන් පරමාදර්ශී මිනිසුන් ජීවත්ව සිටිය හැකිද? ජීවත්ව සිටිය යුතුද? තම දේශපාලන අරමුණ තමන් ජීවත් වන සමාජය තුළම දේශපාලන බල ආධිපත්‍යය විසින් කීතු කරන ලද සමයක තම යුක්ති ගරුක දේශපාලන අරමුණ තවදුරටත් අත් නොහැර වැරෙන් අල්ලා ගනිමින් මේ යුගය තුළ සටන් කරන මිනිසුන් සිටිය හැක්කේ එක් හෝ අතීත කතා තුළය. නැතහොත්, වර්තමාන සාහිත්‍යය තුළය. නමුත්, විරාජ් යනු එවැනි විරළ ගණයේ අසහාය යුක්තිගරුක දේශපාලන අරගලයක අපේ කාලයේ නිරත වූ අසහාය භෞතික නියමු චරිතයයි. විරාජ් යනු, ලෙනින්ගේ භාෂාවෙන් කිවහොත්, “ප්‍රැක්සිසය“(praxis)කි. එනම් දේශපාලන න්‍යායික හා දේශපාලන උපායික (political theoretical and political tactical ) විනිශ්චයක වෙන් කළ නොහැකි මනා සංකලනයකි.

ඔහුගේ විනිශ්චය තුළ බොහෝ විට ප්‍රතිවිරෝධතාද අන්තර්ගත අවම වශයෙන්, ස්ථාවරයක් තුළ අඛණ්ඩ පැවැත්මේ විසඳුම් සෙවීමේ පෙළඹවීමක් ඇති කරයි. එය නිශ්චිත ක්‍රමයකට, ඒකීය අනුකූලතාවයකට සහ එකමුතුකමකට අනුගත වීම නිසා ඇති වූ යලි සොයා ගැනීමකි. මතුපිටින් බලන්නෙකුට, විරාජ්ගේ මෙම දේශපාලන ප්‍රවේශය යනු අරගලකාරී ප්‍රැක්සිසයේ එක්තරා ආකාරයක නිකායවාදයක් ලෙස පෙනී යා හැකිය. මන්ද සෑම න්‍යායික ප්‍රකාශයක්ම එහි ස්ථිර ව්‍යාපෘතිය වන පීඩිත ජාතීන්ගේ සත්‍යාපනය හෙවත් ජාතීන්ගේ විමුක්ති අරගලයට සම්බන්ධව කල්පනා කිරීමට විරාජ්ගේ දේශපාලන භාවිතය සැමවිටම පෙළඹියේය. එය සෑම න්‍යායික ප්‍රකාශයක්ම ස්ථිර ව්‍යාපෘතිය වන නිර්ධන පංති සත්‍යාපනය හෙවත් විප්ලවයට සෑමවිටම සම්බන්ධ කිරීමේ ලෙනින්ගේ දේශපාලන භාවිතයට සමාන වූ දේශපාලන ස්ථාවරයකි. විරාජ්, ධනේශ්වර සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයන් ඉක්මවා යන ජාතීන් විරහිත ගෝලීය සමානතාවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් අපේක්ෂා කළේය.

ඔහු දේශපාලන වෙනස්කම්වලට තුඩු දෙන සමාජ හා මානව බලවේගයන් නිර්වචනය කළ අතර, පීඩිත ජාතියේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා එය මෙහෙයවීමට විරාජ් ක්‍රම සෙව්වේය. ඔහුගේ අරගලය ඒ සඳහා යොමු වූවකි. විරාජ් අපේ පරම්පරාවට අයත් අතලොස්සක් වූ දකුණේ අපිට උතුරේ පීඩිත දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ අදහස තහවුරු වන්නට බලපෑ ප්‍රධාන නියමු චරිතය යැයි කිවහොත් එය අතිශෝක්තියට නැගීමක් නොවේ. රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා හා ජූඩ් ලාල් ප්‍රනාන්දු සහෝදරයා යනු උතුරේ පීඩිත දෙමළාගේ ජාතික නිදහස උදෙසා විරාජ්ගේ දේශපාලන ප්‍රැක්සිසයෙන් බිහි වූ අතලොස්සක් වූ සිංහලයන් අතරින් ශ්‍රේෂ්ඨ ඵල දෙකකි.

විරාජ් මෙන්ඩිස් සහෝදරයා වයස අවුරුදු 17 දී ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අතැතිව බ්‍රිතාන්‍යයේ මෙන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ ඉංජිනේරු උපාධිධාරියෙකු ලෙස එළියට එන්නටය. නමුත් එවකට ඔහු ජීවත් වූ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ ජාතිවාදය හා වර්ගවාදය ඔහු ව ඊට එරෙහි දේශපාලනිකව සංවිධානය වීමට බලපෑවේය. විරාජ් එරෙහි දේශපාලන සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයට ඇතුළු වන්නේ ඒ අනුවය. විරාජ්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඔහුගේ ඉංජිනේරු උපාධියට වඩා ප්‍රමුඛත්වය ගත්තේය. ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය එවක බ්‍රිතාන්‍යයේ වූයේ අයිරීස් විරෝධී තැචරියානු අවධියයි. අයර්ලන්ත නිදහස වෙනුවෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව එරට රැඩිකල් දේශපාලන ව්‍යාපාර හා විශේෂයෙන්ම විප්ලවකාරී කොමියුනිස්ට් කණ්ඩායම මෙන්ම, කම්කරු පක්ෂය සමග ද එක්ව ඔහු,මහපාරේ සටන් කළා පමණක් නොව, ඊට එරෙහිව ලෝකය පුරා මතයක් ගොඩ නැගීමට ද ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය. අයර්ලන්තයෙන් බ්‍රිතාන්‍ය හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ලන්ඩනයේ ඇවිල ගිය උද්ඝෝෂණවලට විරාජ් නායකත්වය දුන්නේය. 

විශේෂයෙන්ම ලොව පුරා මහ ජාතියේ පීඩනයට හා මර්දනයට ලක්වීම නිසා වෙනත් රාජ්‍යයක සිය ජීවිත ආරක්ෂාව පැතූ සුවහසක් සුළුතර ජාතියේ පීඩිත සංක්‍රමණිකයාගේ සංක්‍රමණිකභාවය වෙනුවෙන් හා බ්‍රිතාන්‍යයේ ඊට අදාළ අව මානුෂික ප්‍රතිපත්තියට එරෙහිව ඔහු ලන්ඩනයේ වාමාංශික පක්ෂ සමග එක්ව සටන් කළේය. විවිධ රටවල මහ ජාතියේ ජාතිවාදයේ මර්දනයට හා පීඩනට නතුව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් දේශපාලන රැකවරණ පතා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ පීඩිත ජනයාට ඒ සඳහා නොමසුරුව උදව් කළේය. ඔහු එවැනි ජිවිත ආරක්ෂාවක් අත්‍යවශ්‍ය වූ එහෙත් සිය දේශපාලන රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප ව සිය රටට හරවා යැවීමට තීන්දු කළ අවස්ථා 15 කට අධික ප්‍රමාණයකට මැදිහත්ව එම අමානුෂික බ්‍රිතාන්‍ය ආගමන නීති වෙනස් කිරීමට සංවිධානාත්මකව මැදිහත් විය. එම නිසාම ඔහු මාග්‍රට් තැචර්ගේ පාලනයේ යකඩ හස්තයේ උදහසට ලක්විය. එපමණක් නොව, පිරිමියෙක් ගැහැණියක් කිරීමත්, ගැහැණියක් පිරිමියෙක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කිරීමට පාලන බලයක් තිබේ යැයි පාරම් බෑ ලංකාවේ හයෙන් පහක බලයක් සහිතව රාජ්‍ය පාලනය ගෙනගිය “යැංකි ඩිකී” යන දේශපාලන අන්වර්ත නාමයෙන් හැඳින් වූ ජේ ආර්ගේ පාලන සමයේ වඩාත් කැපී පෙනෙන ලෙස උතුරේ දෙමළ බස කතා කරන පීඩිත ජනයාට එරෙහිව ගෙන ගිය මර්දනය ජාත්‍යන්තරයේ අවධානයට ලක් කරමින්, ඕනෑම පීඩිත ජාතියකට තමන් ජීවත් වන සමාජය තුළ හිමි උස් මිනිස් නිදහස වෙනුවෙන් ලෝකය පුරා මානවහිතවාදීන් ගෙනගිය අරගලයට එය බද්ධ කරමින් ඔවුන් සමග එක්ව ඔහු ලන්ඩනය පුරා මහපාරේ සටන් කළේය.

විශේෂයෙන්ම මෙතෙක් ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ නමැති කඩතුරාවෙන් වසා තිබූ ‘සිංහල බෞද්ධ‘ පාලනයේ හා එම පාලනයට නතුවූ දකුණේ සමාජයේ සාහසික ජාතිවාදය 1983 “කළු ජූලිය” විසින් ඇඟේ නූල්පොටක් නැතිව නග්නව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය. එම ම්ලේච්ඡ දෙමළ සංහාරයට එරෙහිව ලොවපුරා විරෝධතා සංවිධානය කිරීමට විරාජ් ප්‍රමුඛත්වය ගත්තේය. සිංහලයෙකු ලෙස, විරාජ් බ්‍රිතාන්‍යයේ ඊළාම් දෙමළ විමුක්ති අරගලය සඳහා සහයෝගය දෙමින් සංක්‍රමණික ලාංකීය පීඩිත දෙමළ ජනයා සමග එක්ව ඊට අදාළ ආධාරක පදනමක් ගොඩනැගීමට උත්සාහ ගන්නේ මේ අවදියේය. ලන්ඩනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ විරාජ්ගේ මානවහිතවාදී රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීත්වයට එරෙහි පළමු බාධකය එන්නේ 1987 මාර්තු මස දීය. බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නීතියට අනුව ඕනෑම සංක්‍රමණිකයෙකු බ්‍රිතාන්‍යය තුළ වසර 10 ක් රැඳී සිට ඇත්තේ නම් ඔහුට එහි ස්ථිර පදිංචි ලාභියෙකු ලෙස තවදුරටත් ජීවත් වීමට අයිතියක් ඇත. එම නීතිය 1986 දී තැචර් ආණ්ඩුව විසින් වසර 14ක් දක්වා එය ජාතිවාදී ලෙස ආගමන නීති සංශෝධනය කර තිබුණත් එම නීතිය ක්‍රියාවට නැගුවේ නැත.

1987 දෙසැම්බරයේ විරාජ් මෙන්ඩිස් නීති විරෝධී ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින්නෙකු ලෙස සලකා එතෙක් බල නොගැන්වූ ජාතිවාදී ආගමන නීතිය ඔහුට එරෙහිව ගෙන එන්නට තැචර් ආණ්ඩුව ක්‍රියා කළේය. ඔහුගේ නඩුව සහ ඔහු පිටුවහල් කිරීම වැලැක්වීමට උත්සාහ කරන ලද රැකවරණ ව්‍යාපාරය බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික වශයෙන් දැනුවත් කිරීමක් මේ සමගම සිදු කළේය. ගතයුතු සියලු නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීම හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් සංවිධානාත්මකව විරෝධය දැක්වූවද එහි වෙනසක් නොවූ තැන ‘විරාජ්‘ එතෙක් කිසිවෙකු කර නොතිබූ රැඩිකල් ක්‍රියා මාර්ගයකට එළඹියේය. ඒ පල්ලියක දේශපාලන රැකවරණ පැතීමයි. තමා ලොව පුරා වෙසෙන පීඩිත ජාතීන්ගේ නිදහස හා ඔවුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්නෙකු විනා අපරාධකරුවෙකු නොවන බවත්, ඒ නිසා තමා අත් අඩංගුවට ගැනීමට විරුද්ධව පෙනී සිටීම වගකීමක් ලෙස සළකන ලෙසත්, බ්‍රිතාන්‍ය මෙන්චස්ටර් ප්‍රාන්තයේ හුල්ම්හි අසෙන්ෂන් නමැති ඇන්ග්ලිකන් දේවස්ථානයේ vicar John Methuen පියතුමාට ඔහු ඇතුළු මානව හිමිකම් ක්‍රියාදරයෝ බලකර සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1987 දෙසැම්බර් සිට 1989 ජනවාරි දක්වා දින 700 කට වඩා දේවස්ථානයේ කුඩා කාමරයක දේශපාලන රැකවරණලාභියෙකු ලෙස ජීවත්ව පීඩිත ජාතීන්ගේ නිදහස වෙනුවෙන් විරාජ්, දිගටම සටන් කළේය. ඒ නිසාම මෙන්චස්ටර් ප්‍රාන්තයේ හුල්ම්හි ජීවත් වූ නිදහස අගයන බ්‍රිතාන්‍යයෝ ඔහුට අවශ්‍ය රැකවරණය ලබා දුන්හ.

නූතන යුගයේ තම ජීවිත අවධානමට හා පීඩිත ජාතීන්ට කරන පීඩනයට එරෙහිව දීර්ඝතම කාල පරිච්ඡේදයක් දේවස්ථානයක සිට මෙවැනි සටනක් කළ ප්‍රථමයා විරාජ්ය. මේ වකවානුවේ දේවස්ථානය ඉලක්ක කරගත් නව නාසිවාදීන්ගේ ප්‍රහාරවලින් ඔහුව පැය 24 පුරාම ආරක්ෂා කර ගත්තේ අසෙන්ෂන් දේවස්ථානය පිහිටි ‘හුල්ම්‘ ප්‍රදේශයේ ඔහු වටා එකතු වූ ජනතාවය. තැචර් ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ ආගමන නිලධරය හා පොලීසිය 1989 ජනවාරි 18 වැනිදා පාන්දර 5.00 ට පමණ දේවස්ථානයට කඩා වැදී හැඳ සිටි ‘පිජාමාව පිටින්” ම බලහත්කාරයෙන් විරාජ්ව පැහැරගෙන ගියහ. පසුව ආරංචි වූයේ ඔහු ලන්ඩනයේ පෙන්ටන්විල් බන්ධනාගාරයේ රඳවා ඇති බවයි. ඒ විරාජ් නීති විරෝධී සංක්‍රමණිකයෙකු ලෙස සලකනු ලැබු නිසාය. ඒ වන විටත් ඔහු, පල්ලිය තුළ දින 700 කට වඩා  රැඳී සිට තිබුණි. පැය 55 කටත් අඩු කාලයක් ලන්ඩනයේ පෙන්ටන්විල් බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමෙන් පසු, ලොව පුරා වෙසෙන දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ බරපතළ විරෝධය මැද, ඔහුට විලංගු දමා ලන්ඩන් ගුවන් තොටුපොළින් ලංකාවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය තැචර් බලධරයෝ කටයුතු කළහ.

මෙම සිදුවීම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවත බවට පත් වූ අතර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,මානව හිමිකම් ක්‍රියාදරයෝ හා වාම දේශපාලන ක්‍රියාදරයෝ ඇතුළු කිහිප දෙනෙක් විරාජ්ගේ ආරක්ෂාවට ඔහු ගමන් ගත් ගුවන් යානයෙන් ඔහුත් සමග ලංකාවට පැමිණියහ. ඒ මොහොතේ ලංකාවේ ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනකාරී ඇස විරාජ්ට යොමු නොවූයේ, 1988 දෙසැම්බර් 18 වැනිදා පැවැති ජනාධිපති මැතිවරණ සමයේ ඇති කරන ලද රාජ්‍ය භීෂණකාරී වාතාවරණය නිසාය. 1988 මැතිවරණ සමයේදී ලංකාව යනු දේශපාලනික වශයෙන් අභ්‍යන්තරික අවුල් ජාලයකි. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉන්දීය හමුදාව විසින් දෙමළ විමුක්ති කොටි සාමාජිකයින් මර්දනය කිරීමේ භීෂණය එක පැත්තකත්, අභ්‍යන්තර ගැටුම් සමග ඉදිරියට ආ ජේආර්ගේ ආඥාදායක ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් මර්දනය කිරීමේ භීෂණය තව පැත්තකත් ක්‍රියාත්මක කරන ලදී. වසරක පමණ කාලයක් විරාජ් ලංකාවේ සිට ජර්මනිය බලා ගොස් එහිදී දේශපාලන රැකවරණලාභියෙකු ලෙස නැවතත් සිය දේශපාලන ක්‍රියාකාරීත්වයේ නිරත විය.

1989 ලංකාවට පිටුවහල් කිරීමත් සමග විරාජ් එවකට තමා සමග කාලයක් එකට දේශපාලනයේ නිරතවූ  මෙන්චස්ටර්හි පදිංචි බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන ක්‍රියාකාරනියක වන කෙරන් රොබට්ස්(Keren Roberts) සමග විවාහ විය. ඇය විරාජ් සමග ජීවත්වීමට පැමිණියේ ජාතිවාදී හා වර්ගවාදී තමාගේ මවිබිමට(බ්‍රිතාන්‍යයට)තවත් කිසිදු දිනෙක යලි නොයෙන බවට සපත කරමින්ය. ලංකාවේ එවකට පැවැති දේශපාලන වාතාවරණය තුළ විරාජ්, උතුරේ හා දකුණේ රාජ්‍ය පීඩක මර්දනයට එරෙහිව අප්‍රසිද්ධියේ සූක්ෂ්ම ලෙස වැඩ කළේය. දෙපැත්තේම දේශපාලන ක්‍රියාකාරිකයින් සමග සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ඔවුන්ට එරෙහි රාජ්‍ය මර්දනය ලොපුරා දැනුවත් කළ අතරම ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. සිංහලයෙකු ලෙස, විරාජ් සිංහල ප්‍රජාව අතර ඊළාම් දෙමළ විමුක්ති අරගලය සඳහා ආධාරක පදනමක් ගොඩනඟා ගත් අතර, මෙම ආධාරක පදනම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔහු උත්සාහ කළේය. විරාජ්ගේ සමීපතමයන් විසින් මේ වකවානුවේ ඔහුව හඳුන්වන ලද්දේ “මලික්” යන දේශපාලන අන්වර්ත නාමයෙනි.

1990 දී විරාජ් සිය බිරිඳ කෙරන් සමග ජර්මනියේ බ්‍රෙමන් නගරයේ දේශපාලන සරණාගතභාවය ලබා එහි පදිංචියට ගියහ. එහිදී ඔහු විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනයාගේ ජීවත්වීමේ නිදහස වෙනුවෙන් ගෙන ගිය නිදහස් අරගලයට උපරිම සහයෝගය දෙමින් හා ඊට එරෙහි සිංහල ආණ්ඩුවේ දෙමළ සංහාරයට උපරිම ලෙස සංවිධානාත්මකව විරුද්ධ වෙමින් ජාත්‍යන්තරය දැනුවත් කරමින් රටින් පිට දෙමළ ඩයස්පෝරාව සමග සෘජුව සම්බන්ධ වෙමින් ඊට න්‍යායික හා ප්‍රායෝගික නියමු සහයෝගයක් ලබා දෙමින් දෙමළ ඊළාම් විමුක්ති අරගලය ශක්තිමත් කිරීමට නොබියව පෙරට ආවේය. එය 2009 මැයි 18 වැනිදා දක්වාත් ඉන් පසු එළඹි පශ්චාත් මුල්ලිවයික්කාල් යුද සමයේ දෙමළ සංහාරය “වර්ග සංහාරයක්” ලෙස සළකා එය තහවුරු කිරීමට ඔහුගේ මරණය දක්වා නොනැවතුණු අරගලයක ඔහු සිය බිරිඳ කෙරන් සමග නිරත විය. විරාජ්, උතුරේ වාමගාමී පක්ෂයක් වූ ප්ලොට් සංවිධානයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකුව සිට පසුව දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග සමීපව කටයුතු කළ, දමිළ බුද්ධිමතෙකු හා යුද විශ්ලේෂකයෙකු වන ධර්මරත්නම් ශිවරාම්ගේ කිට්ටුවන්ත මිත්‍රයෙකු විය. 90 දශකයේ මුල එල්ටීටීඊයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ ප්‍රධානී ලෝරන්ස් තිලගර් සමඟ සමීපව කටයුතු කළ අතර ලොව පුරා අනෙකුත් ප්‍රගතිශීලී සහ විමුක්තිකාමී බලවේග සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කටයුතු කළේය.

දෙමළ විමුක්ති කොටි සංවිධානයට යුරෝපා සංගමය විසින් පනවන ලද තහනම නිසා දෙමළ විමුක්තිය උදෙසා නන් අයුරින් සහයෝගය දැක්වූවන් අත් අඩංගුවට ගැනීමට හා විවිධ තාඩන පීඩනයන්ට එරෙහිව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි නීති හා මානව හිමිකම් කණ්ඩායම්වලට විරාජ් නායකත්වය දුන්නේය. ඊට හොඳම නිදර්ශනය වන්නේ, ස්විට්සර්ලන්තයේ දෙමළ විමුක්ති ක්‍රියාකාරිකයින් 12 දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුවක් විරාජ් මෙන්ඩිස් විසින් සංවිධානය කරන ලද කණ්ඩායමක් විසින් පරාජය කරනු ලැබීමයි. දෙමළ ජනයාගේ පැත්තෙන් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද නඩුවක් පරාජය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව එය විසින් සනිටුහන් කරන ලදී. එය සැකවින් මෙසේය. දෙමළ අපරාධ සංවිධානයකට මුදල් සැපයීමේ චෝදනාවකට වැරදිකරුවන් කරන ලෙස ඉල්ලා ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය දෙමළ ජාතිකයින් 12 දෙනෙකුට එරෙහිව ස්විස් දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය කඩ කර ඇතැයි එරට ෆෙඩරල් අධිකරණයේ ගොණු කරන ලද නඩුකදී ඔවුනට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. පුරා වසර නවයක විමර්ශනයකින් පසුව එනම් 2018 දී ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කළේ දෙමළ විමුක්ති කොටි සංවිධානය තම රාජ්‍යය තුළ අපරාධ සංවිධානයක් නොවන නිසා එම සැකකරුවන් සියල්ල නිදොස් කොට නිදහස් කරන බවයි. 1999 සිට 2009 දක්වා කාලය තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට අරමුදල් රැස්කිරීමෙන් ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට නීතිපති කාර්යාලය (OAG) ගොණු කළ කරුණු සාවද්‍ය බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කළේය. 

දෙමළ නිදහස්කාමීන් වෙනුවෙන් පෙනී සිටි නීති කණ්ඩායමට මර්ෂල් බොසෝනෙට් ( Marcel Bosonet ) නායකත්වය දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානය අපරාධ කණ්ඩායමක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට පෙන්වා දුන් විනිසුරුවරු ස්විස් දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා බව සඳහන් කළහ. එතැන් සිට එය අල්–කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) මාෆියා වැනි ත්‍රස්ත කණ්ඩායම් සඳහා භාවිතා වන්නක් මිස අරමුදල් රැස් කරන ලද පමණින් කොටි සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස නොසළකත බව ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කළේය. එමෙන්ම අධිකරණයට අනුව එවකට ස්විට්සර්ලන්තයේ එල්.ටී.ටී.ඊ.යට මුදල් ලබා දුන් අය පසුව නීතිය කඩ කරනු ඇතැයි සිතිය නොහැකි බවත්, ත්‍රස්ත ප්‍රහාර එල්ල කළත් එල්ටීටීඊයේ මූලික අරමුණ වූයේ ස්වාධීන ජනවාර්ගික ප්‍රජාවක් ලෙස පිළිගැනීම බවත් ෆෙඩරල් අධිකරණය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය. ෆෙඩරල් අධිකරණයට මෙම සෘජු, හුදු නීතියට එහා ගිය දේශපාලනික අදහස් සහිත තීන්දුව ප්‍රකාශ කිරීමට අදාළ විත්තියේ නීති තර්ක ගොණු කළ නීති ආධාරක මානව හිමිකම් සංවිධානයට නාකත්වය දෙන ලද්දේ අන් කිසිවෙකු නොව විරාජ් මෙන්ඩිස්ය.

විරාජ් ජර්මනියේ සිට දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ අරගලය ශක්තිමත් කිරීමේ සිය උත්සාහය න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් දිගටම කරගෙන ගියේය. ඒ උත්සාහය විසින් ජාත්‍යන්තරය තුළ දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ කාරණයෙදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදී.

2009 දී මුල්ලිවයික්කාල් ඛේදවාචකයෙන් පසුව, විමුක්ති ආදර්ශය සහ සාමූහික විමුක්ති අභිලාෂය දෙමළ නිජබිමෙන් ඉවතට ගෙන එය විශේෂයෙන් ජාත්‍යන්තර විෂය පථයට ගෙන එම ඛේදවාචකයට අදාළ යුක්තිය ඉටු කරගැනීමට වෙහෙසුණේය. ඔහු ඒ හරහා අධිරාජ්‍යවාදයේ ශුද්ධ ආඛ්‍යානය විසංයෝජනය කරමින් 2009 න් පසු ගෝලීය මහජන කතිකාව සඳහා දේශපාලන ක්‍රියාකාරීත්වයේ වේදිකාව විවෘත කළේය. විරාජ්ගේ උත්සාහය වූයේ විමුක්ති කොටි තහනම සහ 2002 සාම සාකච්ඡාවලින් ඔවුන් බැහැර කිරීම මුල්ලිවයික්කාල් සංහාරයට තුඩු දුන් ප්‍රධාන සාධකයක් බවත්, එමඟින් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය දෙමළ ජන සංහාරයට හවුල් වී ඇති බවත් තර්කානුකූලව හෙලිදරව් කිරීමය. දෙමළ ජන සංහාරයට ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඇති හවුල්කාරී සබඳතාවය ඔහු විසින් සංවිධානය කරන ලද මහජන විනිශ්චය සභා තුනක් හරහා මුල් වරට එළියට ගෙන එනු ලැබිණි. එක්සත් ජනපද පීඩනය යටතේ යුරෝපීය රටවල් සාම සාකච්ඡා අත්හැර දැමූ ආකාරය ඔහු එමගින් විස්තර කර ඇති අතර, අවසානයේ සන්නද්ධ විමුක්ති අරගලය මිලිටරි මාර්ගවලින් තලා දැමීමට ශ්‍රී ලංකා රජයට කොළ එළියක් ලබා දුන් බවට තර්කානුකූලව ඔප්පු කළේය.

දෙමළ ඊළාම් විමුක්ති අරගලයේ නියෝජිතායතනය පවත්වා ගැනීම සඳහා විරාජ් වාම–රැඩිකල් දේශපාලනය, භූ දේශපාලන විශ්ලේෂණය සහ අධිරාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහි කතිකාව අනුගමනය කළ අතර එමඟින් එය ඊළඟ අදියර කරා ගෙන ගියේය. ආසියානු කලාපය තුළ සිය අධිරාජ්‍යය පවත්වා ගැනීම සඳහා එක්සත් රාජධානිය විසින් ගොඩනඟන ලද ක්‍රමවේදය මුල්ලිවයික්කාල් සංහාරය දක්වා ඓතිහාසිකව විකාශනය වූ බවට භූ දේශපාලන සාධක මත ඔහු එහිදී ඔප්පු කර පෙන්වා දුන් අතර ඊළාම් දෙමළ සංහාරයේ දී බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ භූමිකාවද ප්‍රථම වතාවට එළිදරව් කළේය. 2019 වසරේ ඔස්ලෝ හි පැවති පොත් එළිදැක්වීමකදී විරාජ් මෙන්ඩිස් සහෝදරයා ශ්‍රී ලංකාව සහ ඊළාම්–දෙමළ ජනතාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය ඉතා දක්ෂ ලෙස නිරූපණය කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා වන මිලිටරි විසඳුම සහ දෙමළ ජනයාගේ ජාතික නිදහස සඳහා වන ස්වයං නිර්ණය අයිතියට එරෙහි මිලිටරි විසඳුම අනුමත කළේ එක්සත් ජනපදය බව ඔහු නැවත නැවතත් දෙමළ ජනයාට මතක් කර දුන්නේය. විශේෂයෙන්ම ඔහු මුල්ලිවයික්කාල් දෙමළ ජන සංහාරය ලතින් ඇමෙරිකානු කලාපයේ අවධානයට ලක් කළේය. ඒ නිසාම එම කලාපයේ වාම රැඩිකල් බලවේග අදටත් මැයි 18 අනුස්මරණය කිරීමෙන් එය ඔප්පු වේ. විරාජ් සහෝදරයාගේ මෙම දේශපාලනික කාර්ය භාරය නිසාම 2019 දී ශ්‍රී ලංකා රජය විසින් යාවත්කාලීන කරන ලද ගැසට් නිවේදනයකින් “ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුව” ට ඔහුගේ නමද එකතු කරන ලදී.

නමුත් විරාජ් සහෝදරයා තමන් විසින් ඉටු කළ යුතු කාර්භාරය ඒ වන විටත් හොඳින් වටහාගෙන සිටියේය. ඒ අනුව, ජර්මනියේ බ්‍රෙමන්හි ජාත්‍යන්තර මානව හිමිකම් සංගමයක් ගොඩ නැගීමට විරාජ් සහෝදරයා මූලිකත්වය ගත්තේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි යුද අපරාධ පිළිබඳ සාක්ෂි විමර්ශනය කරමින් 2010 දී අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේත්, 2013 දී ජර්මනියේ බ්‍රෙමන් නගරයෙත්, 2023 දී ජර්මනියේ බර්ලින් නගරයේත් ජාත්‍යන්තර අධිකරණ වින්ශ්චය සභා තුනක් පිහිටුවා “මුල්ලිවයික්කාල් දෙමළ වර්ග සංහාරය” පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් නීතීන්ට අනුව, සාක්ෂි විර්ශනයක් සිදු කිරීමට විරාජ් සහෝදරයා මූලිකත්වය ගත්තේ, රෝමය පදනම් කරගත් ස්ථිර මහජන විනිශ්චය සභාව සමඟ කටයුතු කරමින්ය.

මේ සියල්ල ඔහු කළේ නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක සිට නොවේ. නමුත් ඔහු රෝගාතුරව මිය යන තුරා ඒ සියල්ල තමන්ට කළ හැකි පරිදි ඉටු කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළුණු ඔහු අවසන් අධියරේ පීඩිත ජනයාගේ අයිතීන් උදෙසා ගෙනගිය උද්ඝෝෂණවලට සහභාගී වූයේ ඔක්සිජන් ටැංකියක් ද එල්ලාගෙනය. ඒ විරාජ් මෙන්ඩිස් සහෝදරයාගේ වැඩ කිරීමේ ශෛලියේ හැටිය.

විරාජ් මෙන්ඩිස් සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවය ජර්මනියේ බ්‍රෙමන් හි පිහිටි ශාන්ත පාවුල් දේවස්ථානයේදී පීඩිතයා වෙනුවෙන් ලොව පුරා හඬ නගන ඒ වෙනුවෙන් සටන් කරන මානව හිතවාදීන්ගේ සෝ සුසුම් හා අවසන් බුහුමන් මැද ගෙවුණු අගෝස්තු 31 වැනිදා සිදු කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *