Latestදේශීය

කැටයම් දදා මිනිස්සුන්ගේ දුප්පත් කම අපිට කියන්න එපා, විසඳුම කියන්න – කරූ පරණවිතාන

ජනාධිපතිවරණයේ දැන් සටන පවතින්නේ ‘රට අඳුරට’ ගෙන යනවා යයි පොළොවේ පස් කන අනුර දිසානායක සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් ප්‍රේමදාස අතර බව, එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජය තහවුරු කරනු පිණිස ඇඹිලිපිටියේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමිනි.

“22 වෙනිදාට මේ රටේ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා තව ස්වල්ප වේලාවකින් මෙතෙන්ට එනවා. ඒ නිසා මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම කොහොමත් දිගට කතා කරන කෙනෙක් නෙවෙයි. වැඩට ගොඩක් උනන්දු කෙනෙක්. මේ ජනාධිපතිවරණ සටන මේ අපේක්ෂකයෝ විස්සක් තිහක් හිටියට මේක දැන් සිව්කොන් සටනක් නෙවෙයි. තුන්කොන් සටනකුත් නෙවෙයි. ඒ සිව්කොන්, තුන් කොන් වල කියවෙච්ච නම් දැන් අහුකොන් වෙලා ඉවරයි.

දැන් මේ සටන තිබෙන්නේ අර රට අඳුරට ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර දිසානායක සහ මේ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩනගන්න සූදානම් වෙන සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා අතරයි. එම නිසා අපි බලන්ට ඕනි මේ රටට මොකක්ද වෙන්න ඕනි කියලා.

මේ රටේ කරුණු තුනක් වෙන්න ඕනේ. මේ බිඳ වැටිච්ච, බංකොලොත් වෙච්චි, බිම්බත් වෙච්චි ආර්ථිකය මේ රට ධනය උපද්දවන රටක් බවට පත් කරලා, ඒ උපදවන ධනය සාධාරණ ව මිනිස්සු අතර බෙදා හරින්න පුළුවන් ඒ ආර්ථික දැක්මක් සහිත නායකයෙක්ගෙන් මේ රට අපිට මෙහෙය වන්ට අවශ්‍යයි. දෙවෙනි කාරණය මේ රටේ මිනිස්සු පාරට බැහැලා ඉල්ලා සිටියා එක කාරණාවක්. ඒ තමයි මේ දූෂණයට, මංකොල්ල කෑමට ඒ වගේම දුරාචාරයට, අපචාරයට ගොදුරු වෙච්චි මේ දේශපාලනය සහ මේ පරිපාලනය සුද්ද කරලා අලුත් දේශපාලන පරිපාලන රටාවක් හදන්න කියන එක. ඊළඟ කාරණය තමයි සිංහල, දෙමළ, මුස්ලිම් ඒ වගේ ම බෞද්ධ, හින්ද, කතෝලික, ඉස්ලාම් මිනිස්සු භේද කරලා ඒ මිනිස්සු අතර සංහිඳියාව නැති කරන දේශපාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඇතුළේ මහා ජාතික සංහිඳියාවක් හදන හැදීමේ උවමනාව මේ රටට තිබෙනවා. කාටද මේක කරන්න පුළුවන්? මේක කරන්න මිත්‍රවරුනි අවශ්‍යයි අපට මිනිස්සු වැදගත් කියලා හිතෙන නායකයෙක්. මිනිස්සුන්ට ගරු කරන නායකයෙක්. මානව දයාව, කරුණා ගුණය සපිරි නායකයෙක්. මේ රට අඳුරන, මිනිස්සු අඳුරන, සංස්කෘතිය, ගහකොළ, සතා සීපාවා අඳුරන ඒවාට ආදරය කරන නායකයෙක්.

අනුර දිසානායකට මේ සුදුසුකම් තියෙනවද? මොනවද අනුරට පුළුවන්? ඔහුට පුළුවන් ශාප කරන්න. වෛර කරන්න, ද්වේශ කරන්න, අපේ රටට බනින්න, අපේ රටට තුට්ටු දෙකට දාන්න. ඒ හින්දා තමයි අර හැත්තෑ හත් වසරක සාපය කියන මන්තරේ කියාගෙන කියාගෙන යන්නේ. මේ රටේ කිසි වැදගත් දෙයක් උනේ නෑ කියලා. හැම වැදගත් දෙයකින්ම හැදිලා වැඩිලා අද ඒගොල්ලෝ රටට සාප කරනවා. වගතුවක් වෙන්නේ නෑ ඒ වගේ නායකයෙක්. අනුර දිසානායකලට පුළුවන් ද මේ රටේ ආර්ථිකය හදන්න ඒගොල්ලො ඉදිරිපත් කරන්නේ සංකීර්ණ ප්‍රශ්නවලට ඉතා ම සරල විසඳුම්.

හඳුන්නෙත්ති කියනවා මේ රටේ මිනිස්සු දිරාපත් වෙච්චි යට ඇඳුම් අඳිනවා කියලා. අනේ සුනිල් ඕක කියන්න ඕන නැහැ. මිනිස්සු දන්නවා ඒක. කැටයම් දදා මිනිස්සුන්ගේ දුප්පත්කම අපට කියන්න එපා. අපට කියන්න ඕගොල්ලන්ගේ විසඳුම. සුනිල් හඳුන්නෙත්තිලා කියන්නේ ඩොලර් පන්සීය, පන්සීය යාළුවන්ගෙන් එකතු කරනවා කියලා.  එහෙම නෙමෙයි මේ රට තියෙන්නේ. ඒගොල්ලෝ දිරාපත් වෙච්චි යට ඇඳුම් ගැන කතා කරනවට හපන් ඒගොල්ලෝ ඉතාමත්ම දිරාපත් වෙච්ච විසඳුම් ඉදිරිපත් කරන්නේ.

ගිය සියවසේ ඒවා. ඒවා කරන්න ගිය රටවල් බංකොලොත් වෙලා ගිහිල්ලා තිබෙනවා. වෙනිසියුලාව, නිකරගුවාව, කියුබාව හැම රටකට ම අත් වුණේ ඒ ඉරණම. ඒ හින්දා ඒගොල්ලන්ට කයිවාරු මිස ප්‍රායෝගික ව වැඩක් කරන්න බෑ. ඒ වගේ ම තමයි ඒගොල්ලන්ට පුළුවන් මිනිස්සු අන්දවන්න. බොරු කියන්න. තමන්ගෙ ම පාක්ෂිකයන්ට බොරු කියන්න. ඔය මාලිමාවට ඡන්දය දෙන එන මිනිස්සුන්ටම බොරු කියන්න. පහළොස් ලක්ෂයක් එනවා කිව්වා ඡන්දේ දාන්න පිටරටින්. තවම පන්සියයක්වත් ඇවිල්ලා නැහැ. ඒ වගේ බොරු කියන්න පුළුවන්. බොරුවෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මිනිස්සු මුලා කරන ඒ ද්වේශ සහගත, වෛරී සහගත දේශපාලනය මේ රටට ඔබින්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. මේ රටේ වගේ දේශපාලනයක් උරා ගන්නේ නැහැ. එයට නිසි පාඩම මේ 21 වෙනිදා මේ රටේ ජනතාව උගන්වනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමාට තිබෙනවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක්. මේ රටේ ජාතික ආදායම දෙගුණයක් වැඩි කරන්න පුළුවන් වැඩසටහන අරගෙනයි එන්නේ. මේ රටේ මිනිස්සුන්ට එතුමා ජනාධිපති ධූරයට පත්වෙච්චි වහාම මහා සහන මාලාවක් ලබා දෙනවා. ඒ සහන දෙන්න ඔබ ධනය උපද්දවන්න පුළුවන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගේනවා. එතුමාගේ හඬින් ම ඒක තමුන්නාන්සේලා අහ ගන්න පුළුවන්. ඒක මම කියන්න යන්නේ නැහැ. උතුරේ, දකුණේ නැගෙනහිර බටහිර සියලු ජාතීන්, සියලු ආගම්, සියලු ජන නායකයෝ, සියලු ජනතා බලවේග සියලු දෙනාම අද මේ මහජනතා බලවේගය වටා ඒකරාශී වෙලා සිටිනවා. එම නිසා අපේ රටේ අනාගතය පැහැදිලියි. අපිට දුක් වෙන්න බියවෙන්න කාරණාවක් නෑ. ජනතාවගේ නායකයෙක්, 22 වෙනිදා ජනාධිපති ධුරයේ ඉඳගන්නවා. එතුමාට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා. එම නිසා අපි විශ්වාසවන්තව, ධෛර්යය සම්පන්න ව, උද්යෝගයෙන් අපි මේ ගමනට ඒකරාශී වෙලා අද දවසේත් මේ පණිවිඩය ගම්මානේ ගිහිල්ලා ඉවර වෙලා ඒ මහා විජයග්‍රහණයට ගෞරවනීය කොටස් කාරයන් හැටියට එකතු වෙමු.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *