Latestදේශීය

ඔය තාප්ප පුපුරන දවස වැඩි ඈතක නෙමෙයි – ටෙරන්ස් රොද්‍රිගෝ

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහා නිදහස් කරන ලෙසත් එමෙන්ම ත්‍රස්ත මර්ධන පනත වහා අහෝසි කරන ලෙසත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින සියලුම සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආන්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය සහ විවිධ පාර්ෂව ගණනාවක් ඊයේ (07) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

මෙම මාධ්‍ය හමුවේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ගෝල්ෆේස් අරගලකරුවෝ, ලංකා ගුරු සංගමය, මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය ඇතුළු පාර්ෂව ගණනාවක් අදහස් දැක්වුවා. මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගෝ මහතා,

සිරිධම්ම හාමුදුරුවෝ දින 90ක් සිරගත කරගෙන සිටියා ත්‍රස්ත විමර්ශන ඒ්කකය යටතේ.  සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු රෝගයට ගොදුරු වුනා. අවශ්‍ය ප්‍රතිකාර කළේ නැහැ. සිරිධම්ම හාමුදුරුවන්ගේ අක්කා බලන්න ගිය වෙලාවේ තමයි දැනගත්තේ ඩෙංගු හැදිලා කියලා. අපි මැදිහත් වුනේ නැත්නම් ඩෙංගු වලින්ම හාමුදරුවන් මරාදාන්න තමයි උන්ගේ සැලැස්ම තිබුනේ.

දැනුත් සිරිධම්ම හාමුදුරුවෝ  අසනීපවෙලා රෝහල් ගත කරලා තියෙන්නේ. අද මේ මාධ්‍ය හමුවට එන්න බැරිවුනෙත් ඒ නිසා. අපි සිරිධම්ම හාමුදරුවන් ගේ සෞඛය තත්ත්වය ගැන දැඩි උනන්දුවෙන් ඉන්නේ. මොකද ඩෙංගු හැදිච්ච කෙනෙක්ට ප්‍රතිශක්තීකරණය අඩුයි.

වසන්ත සහෝදරයා රැදවුම් නියෝග යටතේ 100කට වැඩියෙන් සිරගත කරලා තියෙන්නේ. වසන්ත සහෝදරයාව මාස කිහිපයක් හෝ සිරගත කරලා තියන්න තමයි ආන්ඩුව උත්සාහ කරන්නේ.

සිරිධම්ම හාමුදුරුවෝ චෝදනා රහිතව සිර දඩුවම් විදලා තමයි එළියට එන්නේ. හශාන් ජීවන්ත සහෝදරයා දින 50ක් කිසිදු චෝදනාවක් නැතුව හිරේ හිටියා.

දැන් වසන්ත සහෝදරයාටත් තවත් නඩු පවරන්න උත්සාහ කරනවා. ඒක තමයි ආන්ඩුවේ අසාර්ථක උත්සාහය. ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කරන්න තමයි ආන්ඩුවේ යටි අරමුණ ක්‍රියාත්මක වුනේ.  

අපි ආන්ඩුවට කියනවා මේ ජනතා නැගිටීම්වලට උත්තරය ඔය මර්දනය නෙමෙයි. ජනතාවට එල්ල වෙලා තියෙන පීඩනය බඩු බර අඩු කරන එකයි විසදුම.  නැතුව ශිෂ්‍ය නායකයින්ව මර්දනය කරන එක නෙමෙයි විසදුම.

අද වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අර්බුධ රැසක් මතුවෙලා. පෙලපොත් වෙනුවට පී ඩී එෆ් හම්බවෙන්නේ. ඒවා ප්‍රින්ට් කරගන්න රුපියල් 1500ක් පමණ වැයවෙනවා. පෙලපොත් නැතුව කොහොමද ළමයි අධ්‍යාපනය හදාරන්නේ. අනිත් පැත්තෙන් තිබිච්ච ජීවනෝපායත් අහිමි වෙලා තියෙන අම්මලා තාත්තලා කොහොමද මේ පහසුකම් දරුවන්ට ලබා දෙන්නේ. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බරපතල අර්බුධයක ඉන්නේ

විශ්ව විද්‍යාල ඇතුලේ තත්ත්වයත් මීට වඩා බරපතලයි. ෆොටෝකොපියක් ගන්න රුපියල් 10ක් වැයකරන්න වෙලා තියෙනවා.  බෝඩින් ගාස්තු රුපියල්  10000ක් 15000ක් වෙනවා. මහපොල හම්බවෙන්නේ රුපියල් 5000යි. වියදම් ඒ වගේ කිහිපගුණයකින් ඉහල ගිහිල්ලා තියෙන්නේ.  විශ්ව විද්‍යාල පද්ධතියේ කරන්ට් බිල් ගෙවලා නැහැ. වතුර බිල් ගෙවලා නැහැ. ආචාර්‍යවරුන්ගේ වැටුප් ගෙවන්නේ නැහැ.

විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා එලියට ආවා කියමුකෝ. කෝ රැකියා සුරක්ෂිතභාවය. රාජ්‍ය සේවය කප්පාදුකරලා. ස්ව්‍යං රැකියා ක්ෂේත්‍රය කඩාවැටිලා. පෞද්ගලික අංශය බිදවැටිලා. එතකොට විශ්ව විද්‍යාලයෙන් එලියට එනකොට තියෙන්නේ මේ වගේ අවිනිෂ්චිත වටපිටාවක්.

ඒ වගේම සෞඛය ක්ෂේත්‍රය අනිත් පැත්තෙන් මහා පරිමාණයෙන් කඩා වැටිලා තියෙන්නේ. හදිසි හර්දයාබාධයකදී දිව යට තියාගන්න තියෙන බෙහෙත් පෙත්ත නැතුව කී දෙනෙකුට මැරෙන්න වෙනවා ද?

මේ සා විශාල ප්‍රශ්ණ කන්දකින් මිරිකිලා ඉන්න ජන සමාජය අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණය කරද්දී මර්දනය කරන එක නෙමෙයි උත්තරය.  එහෙනම් මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සමස්ත ජනතාවම මරලා දාන එක තමයි ආන්ඩුවට කරන්න තියෙන්නේ.

ප්‍රශ්ණවලට උත්තර නොදෙන නිසා තමයි ජනතාව අරගල කරන්න ගත්තේ. ඒ සටන් කරන්න නායකත්වය දෙන ශිෂ්‍ය ව්‍යාපාරය, ප්‍රගතිශීලී බලවේග මර්දනය කරන්න ආන්ඩුව හිතනවා නම් ඒක කවදාවත් දිනන් පුලුවන් උත්සාහයක් නෙමෙයි කියලා අපි ආන්ඩුවට අවධාරනය කරනවා.

ලොකුවට තාප්ප ගහගෙන කම්බි වැටවල් ගහගෙන පාලකයෝ අරක්ෂාව තර කරගන්න හදන කොට අපි කියනවා ඔය කම්බි වැටවල් ඇතුලටම වෙලා හිටපල්ලා. ජනතා පරමාධිපත්‍යය මොකක්ද  කියලා පහුගිය ජූලි 09 වෙනිදා අපි කවුරුත් දැක්කා. ඒ නිසා තවත් ජූලි 09 වෙනිදාවක් ලගදිම එනවා කියලා අපි ආන්ඩුවට අවධාරනය කරනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගතවෙලා ඉන්න වසන්ත මුදලිගේ ඇතුලු අනීතිකව රදවා සිටින සියලුම සිරකරුවන් වහා නිදහස් කළ යුතුයි.

ඒ වගේම බදු බර බඩු මිළ වලින් තවත් පීඩාවට පත් කරන ජනතාවට ජීවත් වෙන්න පුලුවන් ආර්ථික වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. ජනතාව මත හෙලන ලද බදු බර අහෝසි කර රටේ ධනය මංකොල්ලකෑ ආන්ඩුවේ ගජ මිතුරන්ගෙන් ඒ මුදල් අයකර ගත යුතුයි.  බඩු මිළ වහා පහත හෙලිය යූතුයි.

එහෙම නොවුනොත්  අපි ජනතාව සමග එක්ව දැවැන්ත බලවේගයක්‌ ලෙස ක්‍රියාත්මක වෙමින් ආන්ඩුවේ මරදනය පරාජය කරන්න ඉදිරියේදී කටයුතු කරන බව අන්ඩුවට අවධාරනය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?