නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය. අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, මේ 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම වෙනුවෙන් 21 වැනිදා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කොට ඇත.
පළමු ටෙස්ට් තරගය අතරතුරදී ලබාදෙන විවේක දිනයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදිනම පස්වරුවේ යළි කණ්ඩායම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව දෙපිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට දින 6ක් වෙන් කර ඇත. දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ 2019 වසරේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේදීය. එහිදී තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් විය. පසුගිය වසරේ නවසීලන්තයේදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය. මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
ශ්‍රී ලංකා සංචාරයට පෙර පසුගිය සතියේ නවසීලන්ත පිල ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩාහිදී ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයකට එක්වුවද, එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව තරගය අත්හැරදමා ශ්‍රී ලංකා සංචාරයට පිටත් වූවේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇති අතර, ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ටෙස්ට් ශූරතාවලියේදී දායකත්වය ලබාදේ.නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණේ.
****
පළමු ටෙස්ට් ගැටුමේ දොරවල් ඇරෙයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් වෙයි. ගාලු ක්‍රීඩාංගණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂකයින්ට ඇතුලුවීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ පළමු තරගය මේ 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමසට නියමිතය.
@දිනමිණ