Latestදේශීය

පහර දී ඝාතනය කර පුංචි ලෝකාන්තයට විසි කරලා

හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරෙකුට මඩොල්සිමදී පහර දී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසයි. මඩොල්සිම බටාවත්තේ පදිංචි 27 හැවිරිදි සිව්දරු පියකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කීය.

හාලිඇළ රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක්වූ බවත්, මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද දැමූ මොහුගේ සිරුර ඊයේ (15) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය පැවසීය.

මෙම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර එහි ප්‍රධාන සැකකරු මඩොල්සිම බටාවත්තේ පදිංචි හාලිඇළ ක්වින්ස්ටවුන් වත්තේ කාන්තාවක සමඟ විවාහ වී සිටි. 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නමැති එක්දරු පියෙකු වන අතර, ඔහුව හාලිඇළ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතා පැවසීය.

හාළිඇළ පොලිසිය මඟින් ඊයේ (15) අත්අඩංගුවට ගත් සැකකරු රථ වාහන බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන බවත්, මොහු කලක් කොළඹ ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් එය බංකොලොත් වීමෙන් අනතුරුව යළි මඩොල්සිම බටාවත්ත නිවෙසට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් චන්ද්‍රබොස් දයාලන් නමැති සැකකරුගේ ත්‍රිරෝද රථය හාලිඇළ රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මිලදී ගෙන ඇති බවත්, පසුව මෙම සැකකරු මැණික් ගල් කිහිපයක් සහ රන්භාණ්ඩ කිහිපයක් විකිණීමට යෑමට ඇති බව පවසා හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරු මඩොල්සිම නගරයට පසුගිය 1 වැනි දින අලුයම ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එහිදී මෙම සැකකරුවන් දෙදෙනා, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසලදී ඝාතනයට ලක්වූ තරුණයා පැමිණි ත්‍රිරෝද රථයට ගොඩ වී මඩොල්සිම පුංචි ලෝකාන්තය මාර්ගයේ ලඳු කැලෑවක සඟවා තිබෙන මැණික් ගල් සහ රන්භාණ්ඩ ගැනීමට යන මුවාවෙන් ඔහු රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව මෙම ප්‍රධාන සැකකරු යළි තමාගේ ත්‍රිරෝද රථය දෙන ලෙසට හාලිඇළ තරුණයාගේ ඉල්ලා ඇති බවත්, එහිදී ඇති වූ ආරවුලක් මත සැකකරු ඔහුගේ මිතුරා සමඟ එක්වී මෙසේ තරුණයාට පහරදී ඝාතනය කර පසුව සිරුර දෙදෙනා අල්ලාගෙන ඔසවා මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය. කෙසේ වෙතත් අබිරහස් ලෙස වැළලීමට ගිය මනුෂ්‍ය ඝාතනයක් හෙළිදරව් කර ගැනීමට හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතා සමත් වීමත් සමඟ මෙම සිදුවීම සිදුවී සතිදෙකක් යන්නට මත්තෙන් ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනා, ත්‍රිරෝද රථය, මුදල් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 34 හැවිරිදි දයාලන් නමැති අයගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව තමන් මිතුරා සමඟ එක්වී මෙම ඝාතනය සිදු කළ බවට පිළිගත් බවත් පවසා ඇත.

මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමූ හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරුගේ සිරුර සොයා හාලිඇළ පොලිසිය, මඩොල්සිම පොලිසිය සහ ප්‍රදේශවාසින් එක් වී පෙරේදා (14) සිට සෙවීමේ කටයුතු සිදු කළත් ඊයේ (15) දහවල් වනතෙක් සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ තරුණයාගේ තොප්පිය පුංචිලෝකාන්තය ප්‍රපාතයේ තිබී පොලිසිය සොයා ගත්තේය.

මෙම පුංචිලෝකාන්තය අඩි දහස් ගණනක ප්‍රපාතයේ ඇති තරුණයාගේ මළ සිරුර සොයා ගැනීමට පොලිසියේ සහාය සඳහා බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් ද ඊයේ (15) දින පැමිණි බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පවතින අධික මීදුම හා ශීතල මෙන්ම වර්ෂාව මෙම කටයුතුවලට බාධාවක් බවත් පොලිසිය සඳහන් කළේය.

එසේ වුවත් පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයේ ඇති තරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු දිගටම සිදු කරන බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර, පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න, සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. දිසානායක, හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු හාලිඇළ සහ මඩොල්සිම පොලිස් ස්ථානයන්හි නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *