ජාජබට 2029න් පසු දෙවන කාලයක් තිබිය හැකිද?
(විදර්ශන කන්නන්ගර)
ජාතික ජන බලවේගය ආණ්ඩුවට 2029 න් පසු දෙවන ධූර කාලයකුත් තිබිය හැකිද ? බොහෝදුරට එය එසේ විය හැකි යැයි සිතා සිටිය හැකි මුත් එම උපකල්පනය ගැස්සී යාමේ සම්භාවිතාවය ද ඉදිරි වසර කිහිපයට විවෘත වී තිබෙන බව ද කිව යුතු වේ.
මෙම ආණ්ඩුව 2029 දී පරාජයට පත්වනවා නම් ඊට බලපාන මූලිකම සාධකය වනු ඇත්තේ කුමක්ද ?
එය නම් විපක්ෂ බලවේගයන් ආණ්ඩුවට විරුද්ධව මතුකරන මතවාදී ප්‍රචාරණය බහුතර ජනතාව විසින් පිළිගන්නා සම්මුතියක් නිර්මාණය වීමයි. දැනට බහුතර ජනතාව විපක්ෂයේ මතවාදී මෙහෙයුමට අනුගත නොවන බවක් පෙනුනද තව වසර කිහිපයකින් එය වෙනස් වීමට බලපාන මූලික භෞතික කාරණා දෙකක් හදුනාගත හැකිය.
1. පහල මාලයේ පීඩිත බහුතර ජනතාව මෙම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ සිය ආර්ථික-සමාජ තත්වයේ යම් ‘ඇගට දැනෙන’ වර්ධනයක් නොලැබී යාම. (ආණ්ඩුව පත්වූ කාලයේ තිබූ ආර්ථික ජීවිතයේ භෞතික අසීරුවට 2028 න් පසුවත් විශේෂ දැනෙන පිළිතුරක් නැතිවීම).
2. මධ්‍යම පාංතික තරුණ හා අනෙකුත් ජනකොටස් වල දෛනික පරිභෝජන-විනෝද ජීවිතය තුළ අසහනයක් නිර්මාණය වීම
පළමුවැන්නට අදාළව නම් ආණ්ඩුව ගැන එකී බහුතර ජනතාව තුළ කලින් වූ ප්‍රසාදයේ යම් සසල වීමක ඇරඹුමක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙයි. විශේෂයෙන්ම එම ජන ඝනත්වයේ විවිධ වෘත්තිමය ශ්‍රේණීන් ආර්ථික වශයෙන් බලගැන්වීම සදහා ගත යුතු දැනෙන ප්‍රවේශයක් තවමත් ආණ්ඩුව පැත්තෙන් පෙනෙන්නට නැත. ‘ප්‍රජා ශක්තී’ වැනි ව්‍යාපෘතියක් පටන් ගෙන ඇතැයි පෙන්නුම් කළ ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ හෝ ‘ඉවත් වෙනු’ වර්ගයේ මෙහෙයුම් වැඩසටහන් තරම් අධිෂ්ඨාන සහගත පෙනුමක් ඊට ලැබී නැත.
මේ වනවිට ‘විස මත්ද්‍රව්‍ය මර්දනය කිරීම’ නාමයෙන් මධ්‍යම පාංතික හා පහළ මධ්‍යම පාංතික තරුණ පරපුරේ විනෝද සංස්කෘතියට ද පොලිස් බලය ඇතුල් වෙමින් තිබෙයි. අයිස් හා හෙරොයින් වලට එරෙහි නීතිමය කඩාවැදීම මර්ජුවානා,කුෂ් හා ඈෂ් ආදී මත් ද්‍රව්‍යයන් ද පොදුවේ ඉලක්ක කරගනිමින් තිබෙයි. ඒවා සොයා විනෝද සාදයන් හා සංගීත සංදර්ශනයන් ආදියට සහභාගි වන තරුණ තරුණියන්ව ද වටලා පරික්ෂාවට ලක් කිරීම් සහ අත් අඩංගුවට ගැනීම් ද මේ වනවිට සිදුවෙමින් තිබෙයි. වර්තමාන පොලිස්පතිවරයා දූෂිත නොවන ‘අවංකයකු’ වන මුත් ‘සංස්කෘතිය’ නම් ක්ෂේත්‍රය සම්බන්දයෙන් ‘මරි මෝඩයකු’ බව පැහැදිළිය. ජවිපෙ ක්‍රියාධරයන්ට ද වර්ධනය වෙමින් ඇති මධ්‍යම පාංතික තරුණ පරපුරේ පරිභෝජන-විනෝද සංස්කෘතිය පිළිබද අත්දැකීමක් හෝ වැටහීමක් නැත. ‘ඉවත් වෙනු’ වර්ගයේ ප්‍රචාරක වැඩසටහන් මේ මොහොතේ ආකර්ශනීය විය හැකි වුවද ‘ශ්‍රී ලංකා පොලීසිය’ ඇතුළු ආරක්ෂ අංශ එම ක්‍රියාවලියට බැස ඇති ආකාරය ඉදිරියේදී ආණ්ඩුවට ද පාලනයක් නැති තත්වයකට ගමන් කිරීමට නියමිතය. ‘අයිස්’ උවදුර ගම්බිම් වලින් අතුගා දැමීම අත්‍යවශ්‍ය වන අතරම නව තරුණ පරපුරේ අනෙකුත් විනෝදාත්මක පරිහරණයන්ට අතපෙවීම විසින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය රැදී ඇති බරපතල පාදමක් ද තව වසර දෙක තුනකින් ආණ්ඩුව නොදැනීම කඩා වැටෙනු ඇත.
මෙම ආණ්ඩුව පෙරළා දැමීමේ ශක්තිය නිර්මාණය වන්නේ ජනතාව අතරින් මිස පරාජිත විපක්ෂ බලවේගයන්ගේ වහසි බස් වලින් නොවෙයි. ආණ්ඩුවට එරෙහිව බහුතර ජනතාව සංවිධානය වන්නේ කටකතා වන් බෙදාගැනීම හා ඒවා ව්‍යාප්ත වීම තුළය. ආණ්ඩු පෙරළියක් සම්බන්දයෙන් තීරණාත්මකම වන ජනතා බලවේගයන් දෙක වන්නේ පහල මාලයේ බහුතර පීඩිත ජනතාව හා මධ්‍යම පාංතික තරුණ පරපුරයි. තව වසර කිහිපයකින් වත් බහුතර පීඩිත ජනතාවට ආර්ථික සහනයක් නොලැබේ නම් එම ජනතාව අතර ආණ්ඩු විරෝධී කටකතා උණුසුම් වනු ඇත. මධ්‍යම පාංතික තරුණ කොටස් වල පරිභෝජන-විනෝද සංස්කෘතියට එරෙහිව ආණ්ඩුවේ මර්දන උපකරණයන්ගේ බලහත්කාරය තීව්‍ර වෙද්දී එම තරුණ කොටස් අතර ආණ්ඩු විරෝධී කටකතා උණුසුම් වනු ඇත. ඒ අනුව පහල මාලයේ පීඩිත ජනතාවගේ ආර්ථික අසහනයේ අතෘප්තිය හා මධ්‍යම පාංතික තරුණ පරපුරේ විනෝද සංස්කෘතියට එල්ල කෙරෙන බලපෑමේ අතෘප්තිය අතර අප්‍රකාශිත සම්මුතියක් බලවත්ව නිර්මාණය වනු ඇත.
(විපක්ෂට) අවශ්‍ය වන්නේ එම අනියම් මහා පොදු කතාවට යහමින් ආමන්ත්‍රණය කිරීම පමණී. වත්මන් ‘සුන්බුන් විපක්ෂයට’ යම් විශ්මිත සිදුවීමකින් හෝ අපූර්ව උපක්‍රමික තේරීමකින් සන්ධානගතව නැගී සිටීමට ඉඩක් ලැබීම හා ඉහත කී ප්‍රශ්නකාරී භෞතික සාධක දෙක බලවත් ජනතා ආඛ්‍යානයක් බවට පත්වීම අතර මුණගැසීමක් 2029 වන විට සිදුවේ නම් එම වසරේදී ජාජබ ආණ්ඩුව බිද වැටීමට ඇති ඉඩකඩ වැඩිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

