Latestදේශීය

කුඩු ගැටුම් නාගොඩ රෝහලේ වෙඩි බවට පත්වෙයි

කළුතර නාගොඩ රෝහලට කඩාවැදී බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ එහි ප්‍රතිකාර ලබමින් සිටි රජවත්තේ චතුවාට සහ කොහුවලදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් මත සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

කළුතර නාගොඩ රෝහලට ඊයේ (31දා) උදෑසන 6.00ට පමණ කඩාවැදුණු පාතාල කුලී වෙඩික්කරුවකු මුළු රෝහලම භීතියට පත්කරමින් එහි 14වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රජවත්තේ චතූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වෙඩි තබා පලා ගොස් තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල වීමත් සමගම 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු සහ කාර්ය මණ්ඩලය දැඩි ලෙස භීතියට පත්ව සිටියහ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ද රැඳවියාගේ ආරක්‍ෂාවට සිට ඇත. එහෙත් එම නිලධාරීන් ආයුධ රහිතව රාජකාරි කරමින් සිටි නිසා පාතාල කුලී වෙඩික්කරු කිසිදු චකිතයකින් තොරව ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් රජවත්තේ චතූ නමැත්තාගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවූ අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. ප්‍රහාරය සඳහා රිවෝලර්වරයක් භාවිත කර තිබූ බව පොලිසිය පවසයි.

දිලිප් චතුරංග හෙවත් රජවත්තේ චතුවා නමින් කුප්‍රකට මෙම රැඳවියා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි. මොහු මර්වින් ජානා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්ද්‍රව්‍ය අලෙවි කරන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ ජාවාරම්කරුවන් අතර කාලයක පටන් ආරවුල් පැවැතිණි.

රජවත්තේ චතුවා ඉකුත් 13වැනිදා කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය සමගය. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් 29 වැනිදා කළුතර බන්ධනාගාරයේදී මොහු එහි රැඳවියන් පිරිසකගේ ප්‍රහාරයට ලක්විය. හිස ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් චතුවා කළුතර නාගොඩ රෝහලේ 14වැනි වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි.

ශල්‍ය වාට්ටුවක් වන 14වැනි වාට්ටුවට බන්ධනාගාර නිලධාරීන්ගේ ද රැකවරණය යොදවා තිබිණි. චතුවාගේ පාදයකට විලංගු දමා ඇඳට සවිකර තිබූ අවස්ථාවේ ඊයේ උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

රෝගීන් බැලීමට පැමිණෙන පුද්ගලයකු ලෙස රෝහලට ඇතුළත් වූ කුලී වෙඩික්කරු චතුවා ප්‍රතිකාර ලබන ඇඳ අසලටම ගොස් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පසුව රෝහල් තාත්පයෙන් පැන පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම ප්‍රහාරය කව්රුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. රෝහලේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවිඳු සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති.

මේ අතර කොහුවල සරණංකර පාරේ බෝධියවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළකට පෙරේදා (30දා) රාත්‍රී කඩාවැදුණු පාතාල වෙඩික්කරුවන් දෙදෙනකු එහි නිවසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියකත් තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ කුඩු මධු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස ඉලක්ක කර බවයි. එහෙත් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති 16 හැවිරිදි දැරිය ඊට යාබද නිවසේ පදිංචිකාරියක බව පොලිසිය පවසයි. තුවාල ලැබූ දැරිය මෙම ජාවාරම්වලට සම්බන්ධ පවුලකට අයත් නොවන අයකු බව ද පොලිසිය පවසයි.

කුඩු මධු නමැත්තා මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර ඔහු භීතියට පත් කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කුඩු මධු නමැත්තා මීට පෙර කොස්මල්ලිගේ මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති අතර පසුව ඔහුගෙන් ඉවත්වී බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම කල්ලි දෙක අතර පවතින ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

තුවාල ලැබූ දැරියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. රිවෝල්වරයක් මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති අතර දැරියගේ සිරුරට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *