ට්‍රම්ප් ඝාතන තැත පිටපතක් ද?
(සාගර දියගම)
ඊයේ රාත්‍රියේ ලෝකයම මොහොතකට නතර විය. ලෝකයේ බලවත්ම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය, ඕනෑම අභිරහස් නවකතාවක් පරදන තරම් සංකීර්ණ සිදුවීම් මාලාවක ආරම්භය විය.
ලෝකයේ ඉහළම ආරක්ෂාවක් සහිත “වයිට් හවුස් කොරස්පොන්ඩන්ට්ස්” රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර, සන්නද්ධ තුවක්කුකරුවෙකුට ජනාධිපතිවරයෙකුට මෙතරම් සමීප විය හැක්කේ කෙසේද? එය හුදෙක් ආරක්ෂක අංශවල අතපසුවීමක්ද නැතිනම් මීට වඩා ගැඹුරු යමක් එහි සැඟව තිබේද? බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් තම පරීක්ෂණ නළය අතට ගෙන සොයා බලන්නාක් මෙන්, අපිත් මේ සිදුවීමේ සුලමුල සොයා යමු!
ඕනෑම අපරාධ පරීක්ෂණයකදී මුලින්ම පැන නගින ප්‍රශ්නය වන්නේ, “කොහොමද ඒක වුණේ?” යන්නයි. ට්‍රම්ප් වැනි ප්‍රභූවරයෙකුට ලබා දෙන ආරක්ෂාව සාමාන්‍ය පුද්ගලයෙකුට සිතාගත නොහැකි තරම් දැඩිය. එරට ප්‍රභූ ආරක්ෂක “Secret Service” විසින් අඟලෙන් අඟල පරීක්ෂා කරන පරිශ්‍රයකට තුවක්කුකරුවෙකු ඇතුළු වූයේ කෙසේද? වාර්තා වන ආකාරයට, ප්‍රහාරකයා පැමිණ ඇත්තේ දුවගෙනය.
මුල් අවස්ථාවේදී රහස් ඔත්තු සේවයේ නිලධාරීන් ඔහුට ඉඩ දී පසෙකට වූ බව පෙනෙන්නට තිබේ. මෙය අතිශය විකාරරූපී තත්ත්වයකි. ඉන්දියාවේ “SPG” වැනි ආරක්ෂක කණ්ඩායම් නම් මෙවැනි විටකදී සැකකරු ඉදිරියට පැන පලිහක් වනු ඇත. නමුත් මෙහිදී සිදුවූයේ අනෙකකි. පසුව සිහිය ලබාගත් නිලධාරීන් ඔහුට වෙඩි තැබූ නමුත්, ප්‍රශ්නය තවමත් එතැනමය. ඔහු ඒ තරම් සමීපයට ආවේ කෙසේද?
නවතම තොරතුරු පවසන්නේ මෙම වෙඩික්කරු එම හෝටලයේම නැවතී සිටි අමුත්තෙකු බවයි. ඒ නිසාම ඔහුට පරීක්ෂණ මුරපොළවල් මගහැරී ගොඩනැගිල්ල ඇතුළතට පිවිසීමට අවස්ථාව ලැබී තිබේ. නමුත්, ජනාධිපතිවරයා සිටින උත්සව ශාලාවක ආරක්ෂාව එතරම් ලිහිල් විය හැකිද?
මෙලානියාගේ තිගැස්ම!
මේ සිදුවීම තවත් අභිරහස් කරන්නේ වෙඩි තැබීමට තත්පර කිහිපයකට පෙර වේදිකාවේ සිදුවූ දෙයයි. ට්‍රම්ප් ආරක්ෂිතව ඉවතට රැගෙන යාමට මොහොතකට පෙර, ඕස් පර්ල්මන් නම්, සුප්‍රකට මයාකරු යම් කාඩ්පතක් පෙන්වයි. එහි ලියා ඇත්තේ කුමක්ද?
‘ඕස් පර්ල්මන්’ යනු වර්තමානයේ ලෝකයේ සිටින දක්ෂතම සහ ජනප්‍රියතම මායාවේදීයෙකි. ඔහු හුදෙක් අතේ ඇඟිලි වලින් කරන මැජික් පෙන්වන්නෙකු නොව, මිනිස් මනස කියවීමට සුවිශේෂී හැකියාවක් ඇති අයෙකු ලෙස සුප්‍රසිද්ධය.
ඕස් පර්ල්මන්, මෙලානියා සහ ට්‍රම්ප් අසලට ගොස් ඉතාමත් සන්සුන්ව “අර්‍යාවනි, මට අවශ්‍යයි ඔබ එක් රූපයක් හෝ එක් වචනයක් ඔබේ හිතේ තදින් ධාරණය කරගන්නවාට. කිසිවෙකුට නොකී, ඔබේ මනසේ පමණක් තිබෙන රහසක්…”
මෙලානියා මද සිනහවකින් යුතුව, “හොඳයි, මම හිතාගත්තා..”
ඕස් තම සාක්කුවෙන් කුඩා කාඩ්පතක් සහ පෑනක් ගෙන, එහි යමක් ලියා එය සභාවට නොපෙනෙන සේ, නමා අතේ තබා ගනී. ඕස්, “අර්‍යාවනි, දැන් මුළු සභාවටම ඇහෙන්න කියන්න, ඔබ හිතේ මවාගත් ඒ වචනය කුමක්ද?”
මෙලානියා විශ්වාසයෙන් යුතුව “Vivid!”
ඒ සමඟම ඕස් පර්ල්මන් තම අතේ තිබූ කාඩ්පත සෙමින් දිග හරියි. එහි “VIVID” යන වචනය ඉතා පැහැදිලිව ලියා ඇත. ඕස් ට්‍රම්ප් දෙස බලමින් සිනාසෙයි. “ඇය හිතන දේ මම කලින්ම දැන සිටියා.”
මෙලානියා ඇස් ලොකු කරගනිමින්, අත් දෙකෙන් මුහුණ වසා ගනියි. “අදහාගන්න බැහැ! කොහොමද ඒක කළේ? මම ඒක කාටවත් කිව්වේ නැහැනේ!” ඕස්ගේ ක්‍රියා දන්නා ට්‍රප්ම් සිනාසෙයි.
සමහරු පවසන්නේ, එහි “VIVID” හෝ “VISION” යන වචනය තිබූ බවයි. තත්පරයකට පසු මෙලානියා ට්‍රම්ප්ගේ මුහුණේ ඇති වූයේ දැඩි භීතිය සහ තිගැස්ම එය හුදෙක් මැජික් දර්ශනය නිසා පමණක්ද? නැතිනම් එය වෙනත් සන්නිවේදනයක්ද “Signal” එකක් ද?
ඕස් පර්ල්මන් යනු මිනිසුන්ව මවිතයට පත් කිරීමේ කලාව උපරිමයෙන් ප්‍රගුණ කළ අයෙකි. නමුත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සවයකදී මෙවැනි ක්‍රියාවක් සිදු වූ විට, මිනිස් මනස සැමවිටම සොයන්නේ එහි ඇති අඳුරු අර්ථයයි.
වෙඩි තැබීමක් වැනි බරපතළ සිදුවීමකට තත්පර කිහිපයකට පෙර මුළු සභාවේම සහ කැමරා මේ කුඩා කාඩ්පත වෙත “යොමු කිරීම” හරහා, ආරක්ෂක පවුරේ සිදුවන වෙනත් චලනයක් සැඟවීමට උත්සාහ කළා විය හැකිද?
ඒ නිසා ප්‍රශ්නය වන්නේ මේ සිදුවීමම වේදිකා නාට්‍යයක්ද? නැතිනම් සැබෑ ඛේදවාචකයක්ද? යන්නයි. ලොව පුරා බොහෝ දෙනෙකු පවසන්නේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම මෙහෙයවන ලද රංගනයක් බවයි. ඔවුන් පවසන්නේ ඉරාන යුද්ධයේ අසාර්ථකත්වය සහ “එප්ස්ටයින් ෆයිල්” පිළිබඳව ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමටත් මෙය සැලසුම් කළ බවයි.
“ට්‍රම්ප් මුළු ඇමරිකාවම පාලනය කරන්නේ ඔහුගේ සූදු පිටියක් වගේ. ඔහු සමහර වෙලාවට යුද්ධය නමින් සූදු කෙළිනවා, තවත් වෙලාවක මෙවැනි බොරු ඝාතන තැත් මවා පාමින් දිනන්න උත්සාහ කරනවා.” අද මෙය අන්තර්ජාලයේ සැරිසරන එක් ප්‍රබල මතයකි.
මෙම සැකය තවත් දැඩි වන්නේ එක් විශේෂ කරුණක් නිසාය. ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජනාධිපති ධුරය දැරූ කාලය පුරාම මෙම “White House Correspondents’ Dinner” උත්සවය මගහැරියේය. නමුත් මෙවර ඔහු එහි පැමිණ සිටියේය.
ඒ පමණක් නොව, ඔහුගේ සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම, උප ජනාධිපති වැන්ස්, FBI ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා පවා එහි සිටියහ. අමෙරිකාව යුද්ධයක පැටලී සිටින මොහොතක, මෙතරම් ඉහළ නිලධාරීන් පිරිසක් එකම තැනකට රැස්වීම ආරක්ෂක අතින් ඉතා අවදානම් සහගත නැද්ද?
මෙහි ඇති තවත් සැකකටයුතු කරුණක් වන්නේ, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ ආරක්ෂක කණ්ඩායමේ ක්‍රියාකාරිත්වයයි. වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම ක්‍රියාත්මක වීමටත් පෙර වැන්ස්ගේ කණ්ඩායම ඔහුව වේදිකාවෙන් ඉවත් කර ගත් බවයි.
එය දක්ෂතාවයක්ද? නැතිනම් ඔවුන් කලින්ම යමක් දැන සිටියාද? උප ජනාධිපතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු කිසිවිටක එකම ස්ථානයක සිටිය නොයුතු බවට වන සම්ප්‍රදාය (විපතකදී පාලන බලය පවත්වා ගැනීම සඳහා) මෙහිදී බිඳ වැටී තිබුණි!
අපි ජීවත් වන්නේ සාගරයෙන් වටවුණු කුඩා දිවයිනක වුවද, ලෝක දේශපාලනයේ සිදුවන මෙවැනි “භූමිකම්පා” අපටද බලපායි. මෙය හුදෙක් ඇමරිකාවේ ප්‍රශ්නයක් නොවේ. දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම මට්ටමක රංගනයක්, කුමන්ත්‍රණයක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදුවිය හැකි බවට මෙය හොඳම නිදසුනකි.
ප්‍රහාරකයා ඉරාන “Sleeper Cell” සාමාජිකයෙකු බවත්, ඔහු FBI රේඩාර් තිරවල සිටි අයෙකු බවත් ඇමරිකානු බලධාරීන් පවසනු ඇත. නමුත් සැබෑ සත්‍යය පවතින්නේ, ඒ නිල වාර්තා වලට යටින් සැඟවුණු අඳුරු ලෝකයේය.
පළමු ලෝක යුද්ධයට මග පෑදූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමරුගේ ඝාතනය, වර්තමාන ට්‍රම්ප් ඝාතන තැත සමඟ සසඳන විට පුදුම සහගත සමානකම් පෙන්වයි.
එදා 1914 ජුනි 28 වැනිදා, කුමරුගේ ආරක්ෂක රථ පෙළට මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල වුවද ඔහු දිවි ගලවා ගත්තේය. එහෙත් ආරක්ෂක අංශවල අතපසුවීමකින් ඔහුගේ රථය වැරදි පාරක ගොස් නතර වූ තැනම, ‘ගව්රිලෝ ප්‍රින්සිප්’ නම් තරුණයා ඔහුට වෙඩි තැබීය.
“එදා අපිව මරන්න කවුරුහරි බලාගෙන ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. ඒත් ආරක්ෂක අංශ මේ තරම් අඥාන වෙයි කියලා මම හිතුවේ නැහැ!” සොෆී කුමරිය ඝාතනයෙන් මොහොතකට පසු එසේ කීවාය.
වර්තමාන ප්‍රහාරයේදීත් රහස් සේවය (Secret Service) ප්‍රහාරකයාට ළඟා වීමට ඉඩ දී බලා සිටීම, එදා සරජේවෝහි සිදු වූ ආරක්ෂක අතපසුවීමට වඩා වෙනස් නොවේ. ඇත්තටම එය අතපසුවීමක්ද නැතිනම් ඉතිහාසය වෙනස් කිරීමට ලියවුණු පිටපතක්ද? දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට පෙර හිට්ලර් විසින් සිදු කළ “ග්ලීවිට්ස් ප්‍රහාරය” ගැන අසා තිබේද? නාසි හමුදා සෙබළුන් පෝලන්ත හමුදා ඇඳුම් ඇඳගෙන තමන්ගේම ගුවන් විදුලි මධ්‍යස්ථානයකට පහර දී එය ‘ලෝකයට පෙන්වූයේ’ පෝලන්තය ජර්මනියට පහර දුන් බව කියමිනි.
වර්තමාන ට්‍රම්ප් ප්‍රහාරය ද මැතිවරණ ජයග්‍රහණය සඳහා කළ රංගනයක් බවට නැගෙන චෝදනා වලට මෙවැනි ඓතිහාසික පූර්වාදර්ශ පවතී. එදා නාසි නිලධාරියෙක්, “අපි මේ ප්‍රහාරය මවාපාන්න ඕනේ. ලෝකය විශ්වාස කරන්න ඕනේ අපියි ගොදුර කියලා. එතකොට අපිට ඕනෑම යුද්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්!” අද ඇමරිකාව තුළ ද ඉරාන තර්ජන හා අභ්‍යන්තර දේශපාලන කුමණ්ක්‍රණ ගැන කියැවෙන්නේ මෙවැනිම පසුබිමක නේද?
මෙලානියා ට්‍රම්ප් තිගැස්මට පත් කළ ඕස් පර්ල්මන්ගේ මැජික් කාඩ් දර්ශනය, දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපයේ පැවති ගුප්ත විශ්වාසයන් සිහිපත් කරයි. හිට්ලර් පවා තීරණ ගැනීමට මයාකරුවන් පසුපස ගිය බව ප්‍රසිද්ධය. මෙවැනි ඉහළ පෙළේ සාදයකදී මරණය අසලටම පැමිණෙන මොහොතක “මනස කියවීමේ” ක්‍රීඩාවක් සිදුවීම හුදු අහම්බයක් විය හැකිද?
පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය පුරා තිබුණේ ජාතිකවාදී රැල්ලකි. අද ඇමරිකාව ද පවතින්නේ එවැනිම අන්තගාමී බෙදීමකි. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ මුළු කැබිනට් මණ්ඩලයම එකම ස්ථානයක රැස්ව සිටීම ඕනෑම මොහොතක රාජ්‍ය නායකත්වය අහිමි වීමේ දැවැන්ත අනතුරක් කැඳවා ගැනීමකි.
විලියම් ශේක්ස්පියර්ගේ “ජූලියස් සීසර්” නාට්‍යයේදී ද සීසර්ගේ මරණයට පෙර, විවිධ නිමිති පහළ වේ. මෙලානියා ට්‍රම්ප්ට මැජික්කරු පෙන්වූ “Vivid” කාඩ්පත, සීසර්ට මගදී හමු වූ පේනකරුගේ අනතුරු ඇඟවීමට බෙහෙවින් සමාන ය.
පේනකරු,”සීසර්තුමනි, මාර්තු මාසයේ දහහතරවනදා ගැන ප්‍රවේශම් වන්න!”
සීසර් සිනාසී, “මේ සිහින දකින්නෙක්! අපි මොහුව අමතක කර දමමු.”
ට්‍රම්ප් වටා සිටින ආරක්ෂක අංශවල “නිද්‍රාශීලී” ස්වභාවය දෙස බලන විට, සීසර් තමා වටා සිටින කුමන්ත්‍රණකරුවන් කෙරෙහි තැබූ අධික විශ්වාසය සිහිපත් වේ. අවසානයේ සීසර්ට මිය යාමට සිදු වූයේ, තමාගේම සමීපතමයෙකු වූ බෲටස්ගේ අතින්, “බෲටස්, ඔබත්?” (Et tu, Brute?) යැයි විමසමිනි.
ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාවල එන ප්‍රභල මූලධර්මයක් තිබේ. ”ඔබ අසම්භාව්‍ය දේ ඉවත් කළ පසු, ඉතිරි වන දෙය කොතරම් අදහාගත නොහැකි වුවත්, එය සත්‍යය විය යුතුයි.” ලොව දියුණුම ආරක්ෂක පද්ධතියක් පවතින තැනක, වෙඩික්කරුවෙකුට ජනාධිපති අසලට දුවගෙන ඒමට හැකි වීම “අසම්භාව්‍ය” දෙයකි. එම අසම්භාව්‍ය දේ ඉවත් කළ විට ඉතිරි වන්නේ, එක්කෝ මෙය “අභ්‍යන්තරයෙන්ම සිදු වූ සැලසුම් සහගත ප්‍රයත්නයක්” හෝ මෙය මනාව අධ්‍යක්ෂණය කරන ලද “නාට්‍යයක්” බවයි.
එදා සරජේවෝහිදී එල්ල වූ ඒ උණ්ඩය ලෝක යුද්ධයකට මග පෑදුවේය. අද ඇමරිකාවේ වයිට් හවුස් භෝජන සංග්‍රහය අතරතුර එල්ල වූ මෙම ප්‍රහාරය ලෝක බලවතුන්ගේ තවත් මහා දේශපාලන පෙරළියක ආරම්භයද? ඔබ විශ්වාස කරන සත්‍යය කුමක් වුවත් එක දෙයක් පැහැදිලිය. මහා කුණාටුවට පෙර පරිසරය අතිශය අද්භූත ලෙස නිශ්ශබ්ද වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

