සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවමක්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.එම්. මොහොමඩ් මිහාල් මහතා ඊයේ (09දා) බරපතළ වැඩ සහිතව වසර 16ක සිරදඬුවමක් නියම කළේය.
එම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් නියම කළ විනිසුරුවරයා, එය නොගෙවන්නේ නම් වසර 9ක අමතර සිරදඬුවමක් නියෝග කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.
රජයේ ආයතනවල තීරණ ගන්නා ඉහළ නිලධාරීන් දූෂණයට හා අල්ලසට යොමුවීම නිසා රාජ්‍ය ආයතන කෙරෙහි මහජනයා තුළ විශ්වාසය බිඳ වැටී ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා, දූෂණයට යොමුවීම වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ප්‍රකාශ කරන බව කියා සිටියේය.
චුදිත හදවත් රෝගියකු වීම හෝ ඔහුගේ වයස දඬුවම් අඩු කිරීමට බලනොපාන කාරණයක් බවත්, දූෂණ චෝදනා යටතේ වරදකරු වන තැනැත්තකුට දඬුවම් නියම කිරීමේදී විත්තිය ඉල්ලා සිටින ආකාරයට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය යටතේ ලිහිල් දඬුවමක් ප්‍රකාශ කළ නොහැකි බව අවධාරණය කළේය.
රජයේ සේවකයකු ලෙස එනම්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, නිසි කාර්යපටිපාටියෙන් බැහැරව 2006 වසරේ අගෝස්තු 1දා සිට 2007 වසරේ අගෝස්තු 30දා දක්වා වසරක කාලය තුළදී වාහන 10ක් කුලී පදනම මත ලබාගැනීමෙන් හා අත්තිකාරම් ලෙස අධික මුදලක් ගෙවීම මඟින් රජයට රුපියල් 1,13,91,000ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන ‘දූෂණය‘ නමැති වරද සිදුකිරීමේ චෝදනාව යටතේ නඩු 4ක් පවරා තිබුණි.
එම එච්සීබී 202/ 22 සහ එච්සීබී 205/ 22 නඩු සඳහා අධිචෝදනා 6ක් නඟා තිබුණු අතර චුදිත සියලු චෝදනාවන්ට වරදකරු විය. එච්සීබී 206/ 22 නඩුවේ අධිචෝදනා 2ක් ඉදිරිපත්ව තිබුණු අතර විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු විය. එච්සීබී 203/ 22 නඩුවේ චෝදනා 6ක් ඉදිරිපත්ව තිබුණු අතර ඉන් චෝදනා 2කින් නිදහස් කෙරිණි.
විත්තිකරු වරදකරු කෙරුණු එක් චෝදනාවකට වසර 4 බැගින් දඬුවම් නියම කර එක් නඩුවක දඬුවම් කාලය එකවර ගෙවෙන පරිදි දඬුවම් නියම කළේය. ඒ අනුව විත්තිකරුට පළමු හා දෙවැනි නඩුවලට වසර 8කින් ගෙවෙන 48ක සිරදඬුවමක්ද, තෙවැනි නඩුවට වසර 4කින් ගෙවෙන 8ක සිරදඬුවමක්ද, සිව්වැනි නඩුවට වසර 4කින් ගෙවෙන 16ක සිරදඬුවමක්ද නියම කළේය. ඒ අනුව විත්තිකරුට නියම කළ සමස්ත සිරදඬුවම වසර 72ක් වන අතර එය වසර 16කින් ගෙවා අවසන් වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනාවකට වරදකරු වන තැනැත්තකුට වසර 20කට නොවැඩි සිරදඬුවමක් හා දඩයක් යන දෙයාකාරයෙන්ම දඬුවම් කිරීමේ හැකියාව අධිකරණයට තිබේ.
මෙම නඩු තීන්දුව මීට පෙර අප්‍රේල් මස 30දා සහ මැයි 26දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, නඩු තීන්දු සූදානම්ව නොතිබීම හේතුවෙන් එය කල් තැබීමට අධිකරණය මීට පෙර පියවර ගෙන තිබුණි.
නඩු විභාගය අතරතුරදී විත්තිකරු විවෘත හදවත් සැත්කමකට මුහුණදී ඇති බැවින්, එම රෝගී තත්ත්වය සලකා චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කිරීමට විත්ති පාර්ශ්වය මුලින් කැමැත්ත පළ කර තිබුණද, පසුව එම ස්ථාවරය වෙනස් කර නඩු විභාගය පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරු විසින් විත්ති කූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබීය.
මෙම නඩුකරයන්හිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය අධ්යක්ෂ අසිත ඇන්තනි මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා සහ නීතිඥ ගයාන් රාජසේකර යන මහත්වරු පෙනී සිටියහ.
මීට අමතරව අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරන ලද තවත් නඩු දෙකක්ද කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.
අල්ලස් හෝ දූෂණ නඩු විශාල ප්‍රමාණයක් පැවැතීම නිසා එම නඩු විභාග කිරිමට දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙම නඩු විභාග කිරීමට නව මහාධිකරණ පිහිටුවන ලෙස කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා කළ ඉල්ලීම අනුව අගවිනිසුරුවරයා විසින් අලුතින් මහාධිකරණ 3ක් ස්ථාපිත කරන ලදි. එම අධිකරණයක් විසින් දඬුවම් නියම කළ පළමු දේශපාලනඥයා වන්නේ විත්තිකරුය. මෙම නඩුවලට අමතරව සරණ ගුණවර්ධන නිදහස් කළ අල්ලස් නඩුවක් අභියාචනාධිකරණයේ නියෝගය පරිදි නැවත මුල සිට කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වේ.
විත්තිකරු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටි සමයේ ඔහුගේ හිටපු බිරිඳ වන කුමාරි අබේවික්‍රම යන අයට අයත් මාදිවෙල පිහිටි නිවෙසක් සඳහා ලක්ෂ 20කට වැඩි නීතිවිරෝධී අත්තිකාරමක් ගෙවීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුවලට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන අවභාවිත සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන වරදකරු කරමින් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ දඬුවමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇපෑලක් ද විභාග වේ. දේශපාලනඥයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ද වන සරණ ගුණවර්ධන මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත්, පසුව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරමින් ප්‍රාදේශීය වශයෙන් සිය දේශපාලන පදනම ශක්තිමත් කර ගැනීමට සමත් විය.
පළාත් සභා දේශපාලනයෙන් අනතුරුව ජාතික දේශපාලනයට පිවිසි 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2010 මහ මැතිවරණයේදී ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත් වූ ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලයේදී ඛනිජ තෙල් කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
