Latestදේශීයමතවාදසංස්කෘතික

එක මොහොතක දෙදෙනෙකුගේ ඉරණම

(සුජිත් රත්නායක)

එක පැත්තකින් පොත් ප්‍රකාශක ඇස්. ගොඩගේ මිය ගිහින්. තව පැත්තකින් පොත් ප්‍රකාශකයෙකු වූ උපුල් සන්නස්ගල පවත්වාගෙන ගිහිපු රෝයල් තැප්‍රොබේනියන් නිදහස් කලා අවකාශය ස්ථිරව ම වසා දමන්න සන්නස්ගල තීරණය කරලා.

ගොඩගේ මිය යන තුරුම කරේ එක වැඩයි. ඒ පොත් ප්‍රකාශකයකු හැටියට වැඩ කිරීම. ගොඩගේ විවිධාකාරයේ පොත් ප්‍රකාශයට පත් කරා. ගොඩගේගෙ ප්‍රකාශන සමාගම හැදින්නුවේ ඇස්. ගොඩගේ සහ සහෝදරයා කියලා ගොඩගේ ගේ ම නම තියෙන වෙලෙද නාමයකින්. “ඇස් ” කියන ඉංග්‍රීසි මුලකුරෙන් කියවෙන්නෙ සිරිසුමන යන්න.

ඇස්. ගොඩගේ එයා ව්‍යාපාරිකයෙක් උනාට එයා අපිට දැනුණෙ අසූ ගණන් වල ඉඳලා අපේ මනසෙ ඉඩ ගත්ත සන්ලයිට්, ලක්ස්, රෙක්සෝනා, කිඹුලා උදැල්ල, ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පෙ වගේ නමක් හැටියට. ගුණසේන, මොඩර්න් පොත් සමාගම ට වඩා ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ නම තමයි අතපත ගාන සහ කියවන පොත් ගොඩක මට පෙනුණේ. ඔය ඉංග්‍රීසියෙන් S කියන අකුර අපි ලියන්නෙ ‘එස් ‘ කියලා. අන්න ඒක ” ඇස් ” කියලා කියන්නෙ ගොඩගේලගෙ පරම්පරාව. “ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ” කියන නම දකින හැම මොහොතකම මට මතක් වෙන්නෙ මගේ තාත්තාගේ පරම්පරාව. ඒගොල්ලන් හරි ගියත් වැරදුනත් ජීවිතයේ එක දෙයක් තෝරා ගත්ත තිර අනන්‍යතාවයක් තිබුණ පරම්පරාවක්. පොත් ප්‍රකාශන සමාගම් අතර හැම ෂානරයකම පොත් ගහපු පොත් ප්‍රකාශන සමාගමක් තමයි ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ලේඛකයින්ට කතෘභාග ගෙවීමට අදාලව ගොඩගේ සම්බන්ධයෙන් ලේඛකයින්ගෙ පැත්තෙන් මැසිවිලි අහන්න ලැබුණෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජාලය නැති කාලෙ සහ ඉංග්‍රීසියෙන් පමණක් මොඩර්න් චිත්‍ර කලාව ගැන පොත් තිබුණ කාලේ මොඩර්න් චිත්‍ර කලාව ගැන එරික් ඉලයප්ආරච්චි ලියාපු ” චිත්‍ර කලාව හා විචාරය ” කියන පිටු හාරසිය ගාණක පොත ගැහුවේ ගොඩගේ. දැනුම ලබා දීම ලිංගික අවභාවිතාව හෝ බැලමෙහෙවරකම් සදහා උපයෝගී කර ගත්ත ඇකඩමියානු එක් අඳුරු පැත්තකට චිත්‍ර කලාව සම්බන්ධ මේ පොත ආලෝකයක් උන බව මම හොදටෝම දන්න දෙයක්. එක පැත්තකින් අපේ ජීවන කාලය තුළ ගොඩගේ මිය යාම අපි ලබපු අභාග්‍යයක් වගේ ම භාග්‍යයක්. පැබ්ලෝ පිකාසෝ මිය ගියෙත් අපේ අපේ ජීවිත කාලයේමයි. ගොඩගේ ගේ මිය යාමේ පුවත සමග අහන්න ලැබුණෙ තවත් සෝකී පුවතක්. ඒ තමයි සන්නස්ගල රෝයල් තැප්‍රොබේනියන් වසා දැමීම.

ගොඩගේ මිය යෑම මට පෞද්ගලිකව දැනෙනවා වගේ ම සහ ඊටත් වඩා රෝයල් තැප්‍රොබේනියන් වසා දැමීම මට පෞද්ගලිකව දැනෙන දෙයක්. රෝයල් තැප්‍රොබේනියන් එක පටන් ගන්න සන්නස්ගල හතර වටෙන් උදව් ඉල්ලද්දි මටත් කතා කරාම තමයි ඒ වෙනකොට මම රුපියල් ලක්ෂ 5 කට මිල කරපු සහ Ajana Ranagala ගේ “අපේ අහ කොහෙද ලිලී මල් ” කොෆි ටේබල් පොතේ පිටකවරයට ගත්ත නිසා ලක්ෂ 5 හේ සීමාව ඉක්මවා ඉල්ලුම ලැබුණ මම නිර්මාණය කරපු ” උපාර්ජනය ” නමින් මාතෘකාගත කරපු චිත්‍රය මම රෝයල් තැප්‍රොබේනියන් වෙනුවෙන් සන්නස්ගලට තෑගි කරේ.

සන්නස්ගල පටන් ගත්ත මේ සෙන්ටර් එක ස්ථාපිත කරේ සන්නස්ගල පවත්වාගෙන ගිහිපු සන්නස්ගලගෙ සන්හිද පොත් ප්‍රකාශන ආයතනය සහ මුද්‍රණාලය වසා දැමුවට පස්සෙ. ගොඩනැගිල්ල සන්නස්ගලගෙ උනාට සෙන්ටර් එක නිර්මාණය උනේ විවිධ මිනිස්සුන්ගෙ උදව් උපකාර සහ නිර්මාණාත්මක දායකත්වයෙන්.

මේ සෙන්ටර් එකට Uvindu Kurukulasuriya පියානෝවක් දුන්නා. කසුන් කල්හාර, Nadeeka Guruge ලා ඒ අය පාවිච්චි කරපු ගිටාර් සමරු සංකේත හැටියට දුන්නා. ප්‍රගීත් මනෝහංස, ප්‍රගීත් රත්නායක, ගයාන් රත්නායක යන අය එසෙම්බල් කලා සහ වෙනත් කලා වැඩ කරලා දුන්නා. මම මේ කිව්වෙ මතකයට ආපු සොච්චම් නම් ප්‍රමාණයක්..ඇත්තටම මේ රෝයල් තැප්‍රොබේනියන් කියලා කියන්නෙ මහල්වරාව බේකරිය නිදහස් කලා අවකාශයෙන් පසුව බිහි උන විකල්ප සාමුහික සංස්කෘතික අවකාශයක්. නමුත් දැන් සන්නස්ගල සන්නස්ගලගෙ තනි තීරණයෙන් ඒක අකුලාගෙන.

මේ සෙන්ටර් එක පටන් ගද්දි මම සෙන්ටර් එකට මගේ ප්‍රදර්ශනාත්මක චිත්‍රයක් තෑගි කරාට සන්නස්ගල මගෙන් ඉල්ලුවේ වෙන දෙයක්. මම වටවංගු දමලා ඒ වැඩෙන් මගෑරලා තමයි උපාර්ජනය යන චිත්‍රය මම රෝයල් තැප්‍රොබේනියන් එක වෙනුවෙන් තෑගි කරේ. සන්නස්ගල මගෙන් ඉල්ලුවේ පරණ වොක්සගන් කාර් එකක මතුපිට චන්ද්‍රගුප්ත තේනුවරගේ වගේ ඇකඩමික ස්ටයිල් එකේ චිත්‍රයක් මට කියලා අන්දවා ගැනීම. මේ සඳහා මගේ අකමැත්තට හේතු උනේ මට සන්නස්ගල ගැන ඒ හැටි අදහසක් නැති වීම, සන්නස්ගල එක දෙයක් එක දිගට කරන අයෙක් නොවීම වගේම රෝයල් තැප්‍රොබේනියන් කියන නම. ගමෙන් ආපු අය මේ රෝයල් කෑල්ල දමා ගැනීම ගැන මට තිබුණෙ භීතියක්, විචිකිච්චාවක් සහ හාස්‍යයක්. ඒක හීනමානය ඇතුලත මිරිකුණ අපභ්‍රංශයක් වේදෝ යන සැකය මට තිබුණා.

ඔය කාරණා වලට අමතරව සන්නස්ගලට ඇකඩමික සම්ප්‍රදා ඇලජි වෙනේකත් මට දැනිලා තිබුණා. එක හිත නැති මිනිහෙක් චංචල දේපළක් වන කාර් එකක මතුපිට මට කියලා අන්දවා ගන්න ඇකඩමික සම්ප්‍රදායක චිත්‍රයක් දවසක පරණ යකඩ බඩු කඩේක මුල්ලක දිරාපත් වේය කියන විශ්වාසය මට තිබුණා. සන්නස්ගලගෙ ගොඩනැගිල්ලෙ බිත්ති වල රිලීෆ්, මියුරල් සහ එසම්බල් ආර්ට් හැටියට සහ කාර් එක මතුපිට අනිත් ආර්ටිස්ට්ලා ස්ථිරයි කියලා හිතලා වැඩ කරද්දි මේ යකා දවසක මේක අතෑරලා දැමුවොත් අපේ නම් කැත වෙන බව මට හැගුණ නිසා තමයි මම චංචල දේපළක් හැටියට තත්පරයෙන් උනත් ගලවා ඉවත් කරන්න පුලුවන් රාමුගත චිත්‍රයක් සෙන්ටර් එකට තෑගි කරේ. මම හිතුවා හරි. සන්නස්ගල අනිත් ආර්ටිස්ට්ලාගෙ නම් කැත කරා. දැන් ඒ කලා කෘති වෙනත් සෙන්ටර් එකක පසුබිම් කලා කෘති හැටියට බිල්ඩිමත් එක්ක සන්නස්ගල අලෙවි කරාවි.

නැත්නම් අබලි ද්‍රව්‍ය හැටියට විසි වේවි. නමුත් සන්නස්ගල සෙන්ටර් එක වසා දමා ඇති පසුබිමේ මට දැන් මගේ චිත්‍රය නැවත සන්නස්ගලගෙන් ඉල්ල ගන්න පුලුවන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *