ටෙනී!
(මංජුල වෙඩිවර්ධන)
සක්වළ දඩයමේ ගිය අපි පොඩි කාලේ
කප් එක තිබුණෙ තොප නමටය මැද සාලේ
සප් එක අපට දුන් හැටි සිහිවන වේලේ
දුක්බර මතක තෙත්බර වෙයි ඇස දෑලේ
දැති රෝදයක් වුව කැරකෙන පමාවෙනී
නිදිනැති සිහින බුදුවරු මෙන් පොලාපනී
යතිවරු අපුල හෙළකුරු පපුතුරේ ඇනී
අතිගරු හතරවැනි තට්ටුව සිනාසුනී
උත්තරී එ සඳ එළියට ගිනිබින්ද
දුට්ඨගාමිණි පසුපස ලුහු බැන්ද
දණ්ඩ භූමි පොබකළ මල් මකරන්ද
ඉන්ද්‍රජාල මිනිසා වෙන කවුරුන්ද
අරං ඇවිත් අපෙ හිත් ලඟ නවත්තලා
පද්මිනීල පමණක් නොව තිවංකලා
සුසුම් ගලයි සන්තානය සනස්සලා
මචං කියන ලෙංගතුකම මතක්වෙලා
සීතල අග්නි කල්පය හීනෙක ඇහැරේ
නූතන හිනාවක සෝබර හිත පෑරේ
ටී ප්ලේන්ටි වැහි විඳ විඳ මහපාරේ
සී නයින්ටියක් කැරකෙයි සංසාරේ
ඔව් නගරයෙන් නෑ නගරෙට යන අතර
ඉන්ද්‍රජාලමය විසිතුරු කතන්දර
ළෙලවා හදවතට රිංගූ හැම නිතර
අසිරිමත්ම වැඩබිම වැඩිහිටි මිතුර
රාජාභරණ ගැලවෙන අයුරු පෙනි පෙනී
මහගෙයි නිධානය තොප කාට දන්දුනී
ගින්නෙන් නැගෙන දුම් ගණ මීදුමක් වැනී
ඉදින් කොහොම සමු දෙම්ද තොපට ටෙනියෙණී
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

