Latestදේශීය

තරුණ පරපුර මත් උවදුරෙන් මුදවා ගැනීම දැවැන්ත සමාජ වගකීමක් – නලින්ද ජයතිස්ස

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ (03) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, පසුගිය මාස කිහිපය තුළ “රටම එකට” ජාතික වැඩසටහන මගින් අත්අඩංගුවට ගත් විශාල විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මෙම මත්ද්‍රව්‍ය උවදුරේ බරපතළ බව පැහැදිළි වන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් ස්ථාන දක්වා විහිදී ඇති බවත්, එම ජාවාරම මැඩලීම සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ජීවිත පරදුවට තබා සිදුකරන කැපවීම අගය කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

තවද, ගම්වල තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම දැඩි සමාජ ගැටලුවක් බවත්, එම තරුණයන් නැවත සමාජගත කිරීම හා මුදා ගැනීම රාජ්‍ය නිලධාරීන් හමුවේ ඇති දැවැන්ත සමාජ වගකීමක් බවත් සඳහන් කෙරිණි.

ඉදිරි මාසයේදී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ම ආවරණය වන පරිදි ආකල්ප සංවර්ධනය තුළින් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමට රටම එකට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් වීම සහ නවකයින් මත්ද්‍රව්‍ය භාවිතය ඇරඹීම වැළැක්වීම, අවබෝධයෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සහ තමාට සහ සමාජයට අහිතකර දේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව වර්ධනය කිරීම වැනි ආකල්ප පිළිබඳ මෙම වැඩසටහනින් සාකච්ඡා කෙරේ.

මෙම වැඩසටහන සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *