පුලුවන් නම් පලාත් සභා තියලා ජන බලය බලන්න – සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ලෝක කම්කරු දිනය දා (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති මැයි දින රැලියේදී අදහස් දක්වමිනි.
‘විකල්පයේ මැයි දිනය’ සහ ‘පච මදිවට හොරු’ යන තේමා යටතේ රැලිය සංවිධාන කර තිබුණි.
එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයේ මැයි දින රැලියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවුඩයක් යොමු කර ඇති බවත් ඒ සඳහා තමන් සිය ස්තූතිය පළ කරන බවත්ය. එමෙන්ම අදාළ සුබපැතුම් පණිවුඩය මඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති පරිදි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යෑම සඳහා කමිටුවක් පත් කළ යුතු බව සඳහන් කර ඇති නමුත් පක්ෂ දෙක මේ වන විට එක්ව ඇති බැවින් එම කමිටු අවශ්‍ය නොවන බව ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් පවසා ඇත්තේ වර්තමාන රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වර සැලකිය හැකි බවත් ගල්අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලය ඒ අතරින් මෑතකාලයේ සිදුවූ මහා පරිමාණ හොරකම් බවයි.
තවද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යෑම සඳහා සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවේ වැඩ කටයුතු ද ඉදිරියට ගෙන යන ලෙසත් සිහිපත් කරමින් සමගි ජන බලවේගයේ මැයි දින රැලියට සිය සුබාසිංසන එක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත අදාළ ලිපිය යොමු කර තිබේ.

සමගි ජන බලවේග මැයි දින රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.
අද මේ රජය ආයතන සියල්ලක්ම විනාශ කර, අධ්‍යාපනයත් විනාශ කරලා. වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා. ගල්අඟුරු හොරකම් කර බාල ගල්අඟුරු ගෙනාවා. අදටත් ඒ ගැන නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩ බැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්න ඕන නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා. සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා. සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා. සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලිබල ඇමැති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා.
මේ මැයි දිනේට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවාම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා කියා පේනවා. නියත වශයෙන්ම සමගි ජනබලවේග නායකත්වය තුළ මේ පච වැඩ කරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන රාජ්‍ය පාලනයකට අපි මුල පුරනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමැතියි.
රටට අවශ්‍ය ජනතාවට විසඳුම්, ජනතාවට මුහුණදෙන ගැටලුවලට උත්තර. අපි සූදානම් මේ උත්තර සපයන්න. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයන්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලයේ තිබුණු ටකරම අහිමි වුණු අය ලක්ෂ 10 බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉඩමක්, නිෙවසක් අහිමි වුණ අයට දෙනවායි කියපු රුපියල් කෝටිය ලැබෙනකම් බලාගෙන ඉන්නවා. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ජනතාව අමතක කළ දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අලුත් වෙන්න ඕනෑ, නවීකරණය වෙන්න ඕනෑ. සුපුරුදු රාමුවට කොටු වෙලා 76 වසරක පරණ දේශපාලන ක්‍රමය වෙනුවට විසඳුම් ලබාදෙන වැඩපිළිවෙළකට යොමුවෙන්න ඕනෑ. ඒ නිසා සක්වල, හුස්ම වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ස්මාර්ට් රටක් ගොඩනඟන්න සුහුරු ක්‍රමවේද අපි ක්‍රියාත්මක කර අලුත්ම ව්‍යාපෘතියක් හැටියට පාසල් පදනම තුළ AI අධ්‍යාපනය ලබා දෙන්නත් අපි ඒ වැඩපිළිවෙළත් ආරම්භ කරනවා.
සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමඟ එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායක සති කිහිපයකින් ගෙදර යැව්වා. බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කළ ඇමැතිවරයාවත් ගෙදර යැව්වා. ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරනවා. ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵල ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමැතියි රට ගොඩනඟන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්රගතිශීලී සියලුම දෙනාත් සමඟ අත්වැල් බැඳගෙන ජවිපෙ පාලනයෙන් කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.
අපි ඉතාමත්ම සතුටු වෙනවා, රනිල් වික්‍රමසිංහ මහතා අද අපේ මේ මැයි රැලියට සුබපැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කර තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්න ඇතුළු වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ.
මම අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි. පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්. මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තියෙන් සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැතිවරණ තිබුණොත් ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමැතිවරුත් එක්ක කියන එක මම ප්‍රකාශ කරන්න කැමැතියි.
සමගි ජන බලවේගයේ සියලු පක්ෂ සාමාජිකයන්, නිලධාරි මණ්ඩලය ඇතුළු දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල පක්ෂ පාක්ෂිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

