Latestදේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගන්වන්න රුසියාවේ සහය

සෞඛ්‍ය සේවාව AI තාක්ෂ­ණය ඇතුළු නවීන තාක්ෂ­ණ­යෙන් බල­ගැ­න්වී­මට සහ මෙරට වෛද්‍ය­ව­රුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යා­ප­න­යක් ලබා­දී­මට රුසි­යාව එකඟ වූ බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා පද්ධ­තිය ඇතුළු සෞඛ්‍ය පද්ධ­තිය නංවා­ලී­මට ද රුසි­යා­වෙන් පූර්ණ සහය ලැබී ඇතැයි ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

තෙදින නිල සංචා­ර­යක් සඳහා පෙරේදා (03) මෙර­ටට පැමිණි රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහා­යිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝ­ජිත පිරිස ඊයේ (04) සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රධාන නිල­ධා­රීන් හමුවී මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂ­ණික කරුණු කිහි­ප­යක් පිළි­බඳ විශේෂ සාක­ච්ඡා­වක් පව­ත්වන ලදි. ඒ අව­ස්ථාවේ දී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේදී පැවැති මෙම සාක­ච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ­මුණි මහතා සහ ශ්‍රී ලංකාවේ රුසි­යානු තානා­පති ලෙවාන් ජගා­රෙ­යාන් මහතා ද එක්ව සිටි අතර, මෙහිදී ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව සංව­ර්ධ­නය සහ AI තාක්ෂ­ණය ඇතුළු නවීන තාක්ෂ­ණ­යෙන් සෞඛ්‍ය සේවාව බල­ගැ­න්වීම පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් දෙපා­ර්ශ්වය අතර අද­හස් හුව­මාරු කර ගැනිණි.

මෙම සාක­ච්ඡාවේ දී දෙරට අතර පැවැති මීත්‍ර­ශීලී සහ­යෝ­ගි­තා­ව­න් සිහි­පත් කළ රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහා­යිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඉදි­රියේ දී මෙරට සෞඛ්‍ය පද්ධ­තිය දියුණු කිරී­මට තම රටේ සහ­යෝ­ගය ලබා­දී­මට බලා­පො­රොත්තු වන බවත්, ලාංකික සහෝ­දර ජන­තාව වෙනු­වෙන් වන මිත්‍ර­ශීලී සහ­යෝ­ගි­තා­ව­න් වර්ධ­නය කර ගනි­මින් සහ­යෝ­ගි­තා­ව­න් තවත් ඉහළ නැංවී­මට බලා­පො­රොත්තු වන බව ද පැව­සීය.

රුසි­යානු සමූ­හා­ණ්ඩුව ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමු­ඛ­තාව ලබා­දෙ­මින් සිය ජන­තා­වට ප්‍රශස්ත සෞඛ්‍ය සේවා­වක් ලබා­දී­මට සැල­සුම් සහ­ගත ක්‍රම­වේද රැසක් අනු­ග­ම­නය කර තිබෙන බවත්, එහිදී ඊට අවශ්‍ය වෛද්‍ය උප­ක­රණ ද AI තාක්ෂ­ණය ඇතුළු නවී­න­තම තාක්ෂ­ණය යොදා ගනි­මින් නිෂ්පා­ද­නය කර ඇති බවත් රුසි­යානු සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා ඇතුළු නිල­ධා­රීන් දැනු­වත් කරන ලදි.

එහිදී කෘෂි­කා­ර්මික ප්‍රදේ­ශ­යන්හි හා නග­ර­බද ජන­තා­වගේ විවිධ රෝග 42 ක් හඳුනා ගැනීම සහ විනි­ශ්චය (රසා­ය­නා­ගාර සේවා සහ ළමා රෝග) සඳහා AI තාක්ෂ­ණය යොදා­ග­නි­මින් නිෂ්පා­ද­නය කර ඇති නවීන තාක්ෂ­ණික උප­ක­රණ පද්ධ­ති­යක් පිළි­බඳ ද අමා­ත්‍ය­ව­රයා දැනු­වත් කිරී­මට කට­යුතු කෙරිණි.

රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ ක්‍රියා­ත්මක සෞඛ්‍ය සේවා පද්ධ­තිය පිළි­බඳ අව­බෝ­ධ­යක් ලබා­ගැ­නීම සඳ­හාත්, නවීන තාක්ෂ­ණික වෛද්‍ය උප­ක­රණ ඇතුළු නවීන AI තාක්ෂ­ණය මුසු කර ගත් නවීන ප්‍රති­කාර සේවා පිළි­බඳ අධ්‍ය­ය­නය සඳ­හාත්, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඇතුළු නිල­ධා­රීන්ට රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ නිල සංචා­ර­ය­කට ඇර­යුම් කරන බව ද ඊට අදාළ සියලු කට­යුතු සූදා­නම් කළ හැකි බව ද රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහා­යිල් මුරාෂ්කෝ මහතා මෙහි දී පැව­සීය.

එමෙන්ම බල­ශ­ක්තිය ඇතුළු මෙරට පව­තින ගැට­ලු­ව­ලින් අත්මි­දීම සඳහා මිත්‍ර­ශීලීව සහ­යෝ­ගය ලබා­දී­මට සූදා­නම් බව අව­ධා­ර­ණය කළ මිහා­යිල් මුරාෂ්කෝ මහතා දෙරට අතර ඖෂධ නිෂ්පා­දන සහ සැප­යු­ම් දා­මය ශක්ති­මත් කිරී­මට අපේක්ෂා කරන බව ද පැව­සීය.

මෙරට වෛද්‍ය­ව­රුන් සඳහා වැඩි­දුර වෛද්‍ය අධ්‍යා­ප­න­යක් ලබා­දී­මට රුසි­යාව සූදා­නම් බවත්, ඉදි­රි­යේදී රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කිරීම මඟින් අන්‍යොන්‍ය සම්බ­න්ධී­ක­ර­ණ­යක් තුළ ප්‍රශස්ත ඉදිරි ගම­නක් යා හැකි බවත් රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා මෙහිදී අද­හස් දක්ව­මින් කියා සිටියේ තෙදින නිල සංචා­ර­යක් සඳහා එක්වෙ­මින් මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවී­මට අද­හස් කිරීම පිළි­බඳ සිය ස්තුතිය පුද කරන බවත් මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරීම සඳහා ක්‍රියා­ත්මක නවමු වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ සහ එහිදී නවීන තාක්ෂ­ණය ඊට අනු­ගත කිරීමේ අව­ශ්‍ය­තාව සහ නවීන තාක්ෂ­ණික උප­ක­ර­ණ­වල අව­ශ්‍ය­තාව පෙන්වා­දීම සම්බ­න්ධ­යෙන් ස්තුතිය පුද කරන බවත්ය.

මෙම සාක­ච්ඡා­වෙන් පසුව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් සහ ප්‍රධාන ආය­තන භාර නිල­ධා­රීන් සමඟ අමා­ත්‍ය­ව­රුන් දෙදෙනා විශේෂ සාක­ච්ඡා­වක් ද පැවැ­ත්වීය.

මෙම සාක­ච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, අති­රේක ලේකම් (පාලන) I ජී.එම් ජනක කිත්සිරි, අති­රේක ලේකම් (වෛද්‍ය සේවා) කුමාර වික්‍ර­ම­සිංහ, අධ්‍යක්ෂ (ජාත්‍ය­න්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සම­ර­නා­යක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් (වෛද්‍ය සේවා) I වෛද්‍ය එච්.එම්. අර්ජුන තිල­ක­රත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් (සැල­සුම්) විශේ­ෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධ­රන් මහ­ත්ව­රු එක්ව සිටි­යහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *