Latestදේශීය

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4 දෙනාටම මරණ දඬුවම ස්ථිරයි

විද්‍යා නමැති පාසල් සිසු­විය පැහැ­ර­ගෙන ගොස් සමූහ දූෂ­ණය කර ඝාත­නය කිරීමේ චෝද­නා­වන්ට වර­ද­ක­රු­වන් වී මරණ දඬු­වම නිය­මව සිටි සුවිස් කුමාර ඇතුළු විත්ති­ක­රු­වන් සිවු දෙ‍නකුගේ මරණ දඬු­වම පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඊයේ (06) තහ­වුරු කළේය.

මෑත ඉති­හා­සයේ සිදුවූ ඉතා කෲර සහ අමා­නු­ෂි­කම සිදු­වීම මෙය බව සඳ­හන් කළ පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විත්ති­ක­රු­වන් සියලු දෙනා­ටම එරෙහි චෝදනා සාක්කි සහි­තව පැමි­ණිල්ල විසින් ඔප්පු කර ඇති බවත් ඒ අනුව ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ තීන්දුව නිවැ­රදි බවත් තීන්දු කළේය.

සුවිස් කුමාර නමැති විත්ති­කරු සමඟ මරණ දඬු­වම නිය­මව සිටි විත්ති­ක­රු­වන් දෙදෙ­නකු අප­රා­ධය සිදු වන අව­ස්ථා­වේදී එම ස්ථානයේ නොසිටි බවට හෙළිවී ඇතැයි තීන්දු කළ පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම විත්ති­ක­රු­වන් දෙදෙනා නිදොස් කොට නිද­හස් කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ මරණ දඬු­වම නිය­මවී සිටින සුවිස් කුමාර ඇතුළු සිවු දෙන­කුගේ මරණ දඬු­වම තහ­වුරු කළ පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉතිරි විත්ති­ක­රු­වන් දෙදෙනා නිදොස් කොට නිද­හස් කිරී­මට තීන්දු කළේය. චෝදනා ඔප්පු වී නැතැයි තීර­ණය කර­මින් එලෙස නිදොස් කොට නිද­හස් කරන ලද්දේ මහ­ලිං­ගම් සසි­ද­රන් හෙවත් සෂී සහ ජය­ත­රන් කෝකි­ලර් හෙවත් කන්නන් නමැති විත්ති­ක­රු­වන් දෙදෙ­නාය.

ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ පැවැති දීර්ඝ නඩු විභා­ග­යේදී මහ­ලිං­ගම් ශෂී කුමාර හෙවත් ‘සුවිස් කුමාර’ නමැති විත්ති­කරු ඇතුළු විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා සනාථ වී ඇතැයි තීන්දු කර­මින් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් පුබා­ල­සිං­හම් ජය­කු­මාර හෙවත් රවී. තිල­නාද චන්ද්‍රා කාන්තන් හෙවත් චන්ද්‍රා සහ සිය­නේ­තන් තුසි­තන් හෙවත් පෙරිය තම්බි නමැති විත්ති­ක­රු­වන්ට එරෙ­හිව පැනවූ මරණ දඬු­වම තහ­වුරු කළේය.

අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සුර­සේන, අචල වෙංග­ප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේ­සු­න්දර සහ සම්පත් අභ­ය­කෝන් මහත්ම මහ­ත්මී­න්ගෙන් සැදු­ම්ලත් පංච පුද්ගල විනි­සුරු මඬුල්ල හමුවේ විභා­ග­යට ගත් විශේෂ අභි­යා­චන පෙත්සමේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් අදාළ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කළේය. මෙම චෝද­නා­වන්ට වර­ද­කරු වී සුවිස් කුමාර ඇතුළු විත්ති­ක­රු­වන් සමඟ මරණ දඬු­වම නිය­මව සිටි පූබා­ල­සිං­ගම් හෙවත් සෙන්සිල් නමැති විත්ති­කරු පෙත්සම් විභා­ගය අත­ර­තුර බන්ධ­නා­ගා­රය තුළදී මිය­ගොස් තිබිණි.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන අචල වෙංග­ප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේ­සු­න්දර සහ සම්පත් අභ­ය­කෝන් මහත්ම මහ­ත්මීන්ගේ එක­ඟ­ත්ව­යෙන් අග­වි­නි­සුරු ප්‍රීතී පද්මන් සූර­සේන මහතා විසින් මෙම විශේෂ අභි­යා­චන පෙත්සමේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන ලදි. විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා 41ක් යටතේ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ නඩු පවරා තිබූ බවත් අප­රා­ධ­යට සම්බන්ධ වී සිට පසුව රජයේ සාක්කි­ක­රු­වන් වූ සිද්ධිය ඇසින් දුටු සාක්කි­ක­රු­වන් දෙදෙ­නකු ඇතුළු සාක්කි­ක­රු­වන් 36 දෙන­කුගේ සාක්කි ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ විම­සී­මට භාජ­නය කෙරී ඇති බවත් පංච­පු­ද්ගල විනි­සුරු මඬුල්ල සිය තීන්දුවේ සඳ­හන් කර ඇත.

දැරිය පැහැ­ර­ගෙන ගොස් දූෂ­ණය කර මරා දැමීම විත්ති­ක­රු­වන් විසින් වීඩියෝ පටි­ගත කර ඇති බවත් මෙම ඝාතන සිද්ධිය පිටු­පස දැරි­යන් පැහැ­ර­ගෙන ගොස් දූෂ­ණය කිරීමේ සිද්ධීන් වීඩියෝ කර එම වීඩියෝ පට අලෙවි කිරීමේ ජාවා­ර­මක් පැවැති බව සාක්කි මඟින් හෙළි වී ඇති බවත් තීන්දු කළ විනි­සුරු මඬුල්ල පළමු, දෙවැනි සහ තෙවැනි විත්ති­ක­රු­වන් විද්‍යා දැරිය පැහැ­ර­ගෙන, පාළු නි‍ෙව­ස­කට රැගෙන ගොස් ඇයට අත­වර කර ඇති බව සාක්කි මඟින් හෙළි වී ඇති බවත් තීන්දු කළේය.

සිද්ධිය හෙළී වීමෙන් පසු ‘සුවිස් කුමාර’ නමැති විත්ති­කරු ප්‍රදේ­ශ­වා­සීන් විසින් අල්ලා­ගෙන ඔහුට පහ­ර­දී­මෙන් පසු පොලී­සි­යට භාරදී ඇති නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රීන්ගේ සහ දේශ­පා­ල­න­ඥ­යින්ගේ මැදි­හ­ත්වීම සහ අනු­දැ­නුම මත ඔහු පොලිස් අත්අ­ඩං­ගු­වෙන් බේරී පලා ගොස් ඇති බව නඩු විභා­ග­යේදී හෙළිව ඇති බවත්, එලෙස පොලිස් අත්අ­ඩං­ගු­වෙන් බේරී පලා ගොස් කොළඹ ප්‍රදේ­ශයේ සැඟවී සිට ඇත. එහිදී ඔහු යළිත් වරක් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වී ඇති බවත් තීන්දුවේ සඳ­හන් කළ පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, විත්ති­ක­රු­වන්ට එරෙ­හිව ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ පැවැති දීර්ඝ නඩු විභා­ගය අව­සා­න­යේදී විත්ති­ක­රු­වන්ට එරෙහි සියලු චෝද­නා­ව­ලට ඔවුන් වර­ද­ක­රු­වන් බවට තීන්දු කර­මින් ඔවුන් සියලු දෙනා­ටම මරණ දඬු­වම නියම කර ඇති බවත් තීන්දුවේ සඳ­හන්ය.

පෙත්සම් විභා­ග­යේදී ඉදි­රි­පත් වූ කරුණු විශ්ලේ­ෂ­ණය කිරී­මේදී ෂිව­නා­සන් චන්ද්‍ර­හ­සන් සහ සිව­නේ­ෂන් තුසි­තන් නමැති විත්ති­ක­රු­වන් දෙදෙනා සිද්ධිය වන අව­ස්ථා­වේදී අප­රාධ ස්ථානයේ නොසිට වෙනත් ස්ථාන­යක සිටි බවට කරුණු හෙළි වී ඇති බව තීන්දුවේ සඳ­හන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම විත්ති­ක­රු­වන් දෙදෙනා වර­ද­කා­රී­ත්ව­යෙන් නිද­හස් කිරී­මට අධි­ක­ර­ණය තීර­ණය කළේය.

එම විත්ති­ක­රු­වන් දෙදෙනා හැර අනෙ­කුත් විත්ති­ක­රු­වන් සියලු දෙනා විද්‍යා දැරිය පැහැ­ර­ගෙන යෑම, දූෂ­ණය කිරීම සහ මරා දැමී­මට සම්බන්ධ වී හෝ එම අප­රා­ධ­යන් සඳහා ආධාර අනු­බ­ලදී ඇති බව පැහැ­දිලි වන්නේ යැයිද ඒ සම්බ­න්ධ­යෙන් අදාළ විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා සාක්කි සහි­තව ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ පැමි­ණිල්ල විසින් ඔප්පු කර ඇතැයි තීන්දු කළ පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ තීන්දුව නිවැ­රදි වන හෙයින් ඒ සඳහා මැදි­හත් වීමේ අව­ශ්‍ය­තා­ව­ක් නැතැයි ද තීන්දු කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *