පාඨලීට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසා අවසන්
රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී රිය අනතුරක් සිදුකර සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ නඩු පවරා ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහි පවරා ඇති නඩුවේ පළමු සාක්ෂිකරු වන ගයාන් විනෝදකගේ සාක්ෂි විමසීම ඊයේ (06දා) අවසන් විය. මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
සාක්ෂිකරු පෙරේදා (05දා) ඔහුගේ මූලික සාක්ෂිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ රාජගිරියේ අනතුර සිදු කළ වාහනයේ රියැදුරා චම්පික රණවක හිටපු ඇමැතිවරයා බව කියා සිටියේය. තමන් ඒ සම්බන්ධයෙන් රාජගිරිය පොලීසියට දුන් කටඋත්තරය කියවා අත්සන් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව කියා සිටියේය.
අනතුරුව 1 හා 2 විත්තිකරුවන්ගේ නීතිඥයන් හරස් ප්‍රශ්න විමසා සිටි අතර ඊයේ (06දා) 3 වැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසන ලදි. 2016 වසරේ පෙබරවාරි 28දා රාජගිරිය ජනාධිපති විදුහල ආසන්න මංසන්ධියේදී අපරික්ෂාකාරී ලෙස ඩබ්ලිව්.පී.කේ.ටී. -7545 දරන සුඛෝපභෝගී රිය පදවා අනතුරක් සිදුකොට නොනවත්වා ධාවනය කිරීම සහ එම අනතුරෙන් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුව පවරා ඇත.
1951 අංක 14 දරන මෝටර් රථවාහන ආඥාපනතේ 16.1(1) සහ 161 (1), 214 යටතේ චෝදනා ගොනුකර ඇත.
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රථ ධාවනය, නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් රිය ධාවනය නොකිරීම, මාර්ගය භාවිත කරන වෙනත් තැනැත්තන් ගැන සැලකිලිමත් නොවීම, රිය අනතුර පිළිබඳ තොරතුරු ආසන්න පොලීසියට දැනුම් නොදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබේ.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල, රියැදුරා ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් පවරා ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

