හොරණ වැඩිහිටි නිවාස ගින්නෙන් 11ක් මියයයි
හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඊයේ (03) සවස හටගත් ගින්නකින් මිය ගිය වැඩිහිටියන් ගණන මේ වනවිට 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
ගින්න හටගත් අවස්ථාවේදී එහි කාන්තා හා පුරුෂ වැඩිහිටියන් හැත්තෑ දෙනකු පමණ රැඳී සිට ඇති අතර, ඔවුන්ගෙන් 45 දෙනකු පමණ ආරක්ෂිතව මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගින්නෙන් මියගිය වැඩිහිටියන් 11 දෙනාගෙන් බොහෝ දෙනකු තමන් සිටි පුටුවලම අසුන්ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
තවද ගින්නෙන් තුවාල ලැබූ හය දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව තවදුරටත් වාර්තා ලබා ගනිමින් සිටින බවද සඳහන් වේ.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ තිබූ ගෑස් සිලින්ඩරයක්ද පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම පිපිරීම හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවද සඳහන් වේ.
ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය අයගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ සිද්ධියේ හේතු සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

