Latestදේශීය

රංග නිශාන්තගේ මරණය සිය දිවි නසාගැනීමක් – විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පවසයි

මහාභාණ්ඩාගාරයේ විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකුව සේවය කරමින් සිටියදී ඩොලර් මිලියන 2.5ක් අනීතිකව ප්‍රේෂණය වීමක් සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳව විමර්ශන සාක්ෂි විභාගය පෙ‍රේදා (03) කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි.

මියගිය රංග මහතාගේ බිරිය, දියණිය ඇතුළු ඥාතීන් හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සාක්ෂි විමසීම ඉකුත් නඩු වාරයේදී ලබාගත් අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියමය පරිදි පත්කර තිබූ සිව්පුද්ගල අධිකරණ වෛද්‍ය කමිටු සභාපති වෛද්‍යවරයා ඇතුළු විමර්ශකයන්ගේ සාක්ෂි විභාගය පැවැත්විණි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මුලින්ම සාක්ෂි කූඩුවට කැඳවූ සිව්පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටු ප්‍රධානී කුරුණෑගල ශික්ෂණ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතාගෙන් සාක්ෂි විභාගය ඇරඹීය.

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “සාක්ෂිකරු සේවය කරන්නේ කොහෙද?”

අ.වෛ.නි. ඉලංගරත්න – “කුරුණෑගල ශික්ෂණ රෝහලේ”

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “කොයි කාලෙද පත්වීම් ලබන්නේ?”

අ.වෛ.නි. ඉලංගරත්න – “2004 ඉඳලා මේ ක්ෂේත්‍රයේ”

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තමන් ඇතුළු කණ්ඩායමක් යෙදවූ විශේෂ රාජකාරිය මොකක්ද? ”

අ.වෛ.නි. ඉලංගරත්න – “ඔව්, මුදල් අමාත්‍යංශ නිලධාරියකුගේ මරණයක් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න.”

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “ඔබ හැර ඒ කමිටුව කවුද? ”

අ.වෛ.නි. ඉලංගරත්න – “කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන, අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේමසිංහ හා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය ගාමිණී දිසානායක යන අය ඒ කමිටුව නියෝජනය කළා.”

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “ඇයි? ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ? ”

අ.වෛ.නි. ඉලංගරත්න – “කුලියාපිටිය මහේස්ත්‍රාත්තුමා ඒ දේහය පිළිබඳ පරීක්ෂණයක් කරන්න නියෝග කළා. ඒ අනුවයි පරීක්ෂණය කළේ.”

ජෙ.නි.පො.ප. අජිත් රෝහණ – “ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට එව්වේ කොහොමද?”

අ.වෛ.නි. ඉලංගරත්න – “මහේස්ත්‍රාත්තුමාගේ නියමයට අනුව මැයි මස 1දා අදාළ සිද්ධිය වූ ප්‍රදේශයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් පසු එදිනම සවස 2.00ට පමණ පටන් සවස 6.00ට පමණ වනතෙක් මේ පරීක්ෂණ කළා. සෞඛ්‍ය වෛද්‍ය පෝරම 42 යටතේ එහි වාර්තාව නොබෙදුන තීන්දුවක් ලෙස ඒකමතිකව සිව්දෙනාගේම අත්සනින් යුතුව ගොනුකර තිබෙනවා.”

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙතෙක් කර ඇති මරණ පරීක්ෂණ ප්‍රමාණය හා සාක්ෂිකරුගේ හා සෙසු වෛද්‍ය කණ්ඩායමේ සුදුසුකම් විමසා සිටි අතර සාක්ෂි ලබාදෙමින් වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කියා සිටියේ තමන් හා තම කණ්ඩායම මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා විදෙස්ගත පුහුණු පවා ලබා ඇති බවයි. තමන් පමණක් පශ්චාත් මරණ පරීක්ෂණ දසදහස ඉක්මවූ ප්‍රමාණයක් කර ඇති බව ද පැවසීය.

ඒ අනුව මණ්ඩලයේ මතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සාක්ෂිකරුගෙන් විමසීය. ඊට පිළිතුරු ලෙස විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පැවසීය.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි එම පත්කිරීම කර තිබ්බේ. ඒ අනුව අපි සිව්දෙනාම දැඩි විමසිලිමත්භාවයෙන් යුතුව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාර පරිශ්‍රයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය මැයි මාසේ 01 වැනිදා සිදුකළා.

මුලින්ම අපේ කණ්ඩායම අදාළ සිද්ධිය වූ බව කියන ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් කළා. කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් පිටවෙලා මාදම්පේ පාරේ ගොස් වමට හැරිලා ගිහින් වීරඹුව කියන ගමේ තමයි මේ සිදුවීම වෙලා තිබුණේ. එහිදී අපි නි‍ෙවස පරීක්ෂා කළා. මරණකරුට අයත් වත්තේ කෙසෙල් පඳුරක් අසල ලේ ගලාගොස් තිබූ අයුරු දක්නට ලැබුණා. කෙසෙල් පරඬැල්වල පවා ඒ ලේ ගෑවිලා තිබුණා. එම ස්ථානයේ සිට මරණකරුගේ නි‍ෙවස දෙසට වන්නට මීටර් 50ක් පමණ එනවිට තවත් ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය වුණා. ලේ බිඳු ලෙසින් ද ඉහිරී තිබෙනු දක්නට ලැබුණා. ඒ සියලු නිරීක්ෂණ සටහන් යොදාගෙන ශික්ෂණ රෝහලට පැමිණ මෘත ශරීරය විච්ඡේදනයට පියවර ගත්තා. ඊට පෙරාතුව මෘතශරීරය බිරිය ඇතුළු සමීපතමයන්ට පෙන්වා සිටි අතර ඔවුන් එය තම ඥාතියාගේ බැව් හඳුනාගත්තා.

විච්ඡේදනයට මත්තෙන් අපි දේහය නිරීක්ෂණය කළා. මරණකරුගේ වම් අතේ වැළමිට ඇතුළුපැත්තේ කැපුම් තුවාලයක් හා දෙපාවල වළලු කරට මඳක් ඉහළින් කැපුම් තුවාල දෙකක් නිරීක්ෂණය වුණා. ඊට අමතරව අව්රශ්මිය හේතුවෙන් සම ඉරීගොස් තිබූ ස්ථාන කීපයක් නිරීක්ෂණය වුණා.”

එහිදී වෛද්‍යවරයා අතේ වූ තුවාලයේ සමීප ඡායාරූපයක් අධිකරණයේ අවධානයට යොමුකරමින් ඒ පිළිබඳ මෙලෙස සාක්ෂි ලබාදුන්නේය.

“අතේ ගැඹූරු කැපුම ආසන්නයේ තවත් සියුම් කැපුම් තුවාල දෙකක් නිරීක්ෂණය වුණා. මේවා අපි තීරණය කළේ පෙරහුරු කැපුම් ලෙසයි. ඒ අනුව අපි සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවූයේ එම කැපුම හේතුවෙන් රුධිරවාහිනී හා පෘෂ්ඨීය ශිරාවක් කැපී ඇති බවයි.”

එහිදී එකී පෙරහුරු තුවාල පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා යළිත් කළ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු ලබාදුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පිළිතුරු ලබාදුනි.

“අන් අයකු සිදුකරන කැපුමකදී මෙන් නොව තමන් විසින් කපාගැනීමකදී මෙලෙසින් පෙරහුරු කැපුම් සිදුකරගන්නා අවස්ථා තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. තමන් විසින්ම කපාගත් බවට තීරණය කළහැකි හොඳම කාරණයක් තමයි පෙරහුරු කැපුම.

පසුව දෙවැනි තුවාලය ලෙසට අපි දකුණු පාදයේ වළලුකරට මිලිමීටර් එකසිය පහක් පමණ යම් ආනතියක් සහිතව තිබූ තුවාලය නිරීක්ෂණය කළා. එය තදින් ඇද කරගත් කැපුමක් ලෙසයි නිරීක්ෂණය වුණේ. ඒ තුවාලය මිලිමීටර් 25ක් වගේ දිග තිබුණා. එතැනදීත් එම කැපුම හේතුවෙන් පාදයේ සිට හදවතට රුධිරය ගෙනයන ශිරාවක් තමයි කැපිලා තිබුණේ.

වම් පාදයේ තුවාලයේ යම් වෙනසක් තිබුණා. එය ඇඳීමකටත් වඩා යම් බරක් යොදා කෙටීමක් වැනි කැපුමක් තමයි නිරීක්ෂණය වුණේ . එහි කැපුම මිලිමීටර් තිස් හතක් පමණ තිබුණා විතරක් නොවෙයි, එහි ආයාසයක් යොදා තිබීම නිසා ජංගාස්ථියත් සුළු වශයෙන් කැපීමකට ලක්ව තිබුණා. එම තුවාලයත් ඔරලෝසුවේ දහය සහ හතර ඉලක්කම යා කෙරෙන ආකාරයේ රේඛාවක් ඇන්දෝතින් එය ආනතියකින් තමයි සිදුව තිබුණේ. ඒ කැපීමෙනුත් පෘෂ්ඨීය ශිරාව තමයි කැපිලා තිබුණේ.

මෘත ශරීරයේ වූ සියලු තුවාල සිදුව ඇත්තේ සාපේක්ෂ කැපුම් මුහුණතක් සහිත ආයුධයකින් විය යුතුයි. මේ පාදවල තිබූ කැපුම් තුවාල අයකුට සිටගෙන සිදු කර නොහැකියි.”

එහිදී පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රශ්න කරමින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ මේ කැපුම් තුවාල බාහිර අයකු විසින් කළ හැකි ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මෙසේ කීය.

“මේ මරණකරු හැඳ පැලඳ සිටි සරම, ටීෂර්ට් එක, යට ඇඳුම්, ඉණපටිය ආදියේ කිසිදු ඉරීමක්, කැපීමක්, සිදුරුවීමක් දක්නට තිබුණේ නෑ. බාහිර පුද්ගලයන් සිදුකළ කැපීම් කෙටීම් ආදිය අපි නිරීක්‍ෂණය කර තියෙනවා. මරණයට පත් කරන්නට පහසු සංවේදී ස්ථාන වූ බෙල්ල, පපුව ආදි ප්‍රදේශ මඟහැරලා පාදයේ පිටුපස කැපුමක් යෙදීම විය හැකිකම ඉතා අල්පයි. සිදුවීමේ ආන්දෝලනාත්මක තත්ත්වය නිසාම ඉතා සියුම් විච්ඡේදන පවා සිදුකර තැළීම් හා පොර බැඳීම් පිළිබඳවත් අපි විමර්ශනය කළත් එවැන්නක් එහිදී අනාවරණය වුණේ නැහැ. ඒ වගේම මෘදු පටක පවා නිරීක්ෂණයට ලක් කළා. සියලු දේ මඟ නොහැර බැලුවා . අභ්‍යන්තර තුවාල ඇත්දැයි ද විමසා බැලුවා. ඇතැම් ශරීර කොටස්හි රජයේ රස පරීක්ෂණ වාර්තාවක් මේ වන විට ලැබී තිබෙනවා. එහි මරණකරු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කර නොමැති බවත් ක්ලෝරෆෝම් ආඝ්‍රාහණයක් සිදුව නොමැති බවත් සඳහන්ව තිබුණා. මෙය රස පරීක්ෂකවරයාට පවා යොමුකළා. එහි වාර්තාවක් මේ වන විට ලැබී තිබෙනවා. එහි මරණකරු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කර නොමැති බවත් ක්ලෝරෆෝම් ආඝ්‍රාහණයක් සිදුව නොමැති බවත් සඳහන්ව තිබුණා.”

ඊට බාධා කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ක්ලෝරෆෝම් භාවිතා කරන්නේ කුමකට දැයි විමසීය.

තමන්ගේ පරීක්ෂණවලදී කිසි දිනක ක්ලෝරෆෝම් රසායනික අඝ්‍රාහණය කොට නිර්වින්දනය කරවා කළ මරණයක් දැක නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය. යළිත් සාක්ෂි ලබාදුන් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා මෙසේ ද පැවසීය.

“අපි පශ්චාත් මරණ පරීක්ෂණය සවස හය වගේ වන විට අවසන් කළා. විමර්ශන නිලධාරීන් පස්වරු හයයි තිහට වගේ වන විට අපිට පිහියක් ගෙනත් දුන්නා. ඒ පිහියෙන් මේ කැපීම සිදුව ඇති බවට විශ්වාස කළ හැකියි.”

එහිදී අධිකරණ භාරයේ ඇති මරණකරු හැඳ පැලඳ සිටි ඇඳුම් පැලඳුම් හා පිහිය අධිකරණ භාෂා පරිවර්තක ජයතිලක දිසානායක මහතා විසින් විවෘත කර පෙන්වා සිටි අතර වෛද්‍යවරයා එම ඇඳුම් හා පිහිය හඳුනා ගත්තේය.

යළිත් පැහැදිලි කර ගැනීම ආරම්භ කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා සිටියේ එවන් කැපුම් තුනක් සහිත අයකුට ඇවිදීමට හැකියාවක් ඇත්ද යන්නයි. ඊට ද පිළිතුර ලබා දුන් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“සමට යටින් කැපුණු පටක සාමාන්‍ය පරිදි පීඩනය අඩු තුවාල සමස්තය ගත්තාම මධ්‍යම ප්‍රමාණයේ විෂ්කම්භයක් ඇති ශිරා තුනෙන්ම ප්‍රමාණය ලොකුයි. එය ඇවිදගෙන යන්න කිසිම ගැටලුවක් නෑ.”

ගෙල වැලලාගැනීම්, වස පානය ආදි ක්‍රම නොමැතිව මේ නිසා අසීරු ක්‍රමයක් තෝරාගන්නට හේතුව මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුර දුන් වෛද්‍යවරයා පැවසුවේ මෙයට මානසික පශ්චාත් පරීක්ෂණයක් කළයුතු බවයි.

මෙහිදී අදාළ සිද්ධිය සමාජ මාධ්‍යයේ වෙන වෙන අර්ථකථන ලබාදෙමින් ඇති බවත් බලනහර කපා ගැනීම සම්බන්ධව වෛද්‍ය මතය පිළිබඳව අධිකරණයට පහදා දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂිකරුගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු දුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පැවසීය.

“අපේ බටහිර වෛද්‍ය විද්‍යාවේ කොතැනකවත් බලනහරය කියලා ශරීර කොටසක් නැහැ. සමාජයේ පැතිර යන බලනහර කතාව නිසාම අපිත් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කළා. ආයුර්වේද වෛද්‍ය අමිල කොස්තා මහතාගෙන් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. එම්.එස්. සමරකෝන් මහතා සම්බන්ධ කරගෙන අපි බලනහරය පිළිබඳව ආයුර්වේද මතය විමසා සිටියා. එහිදී මහාචාර්ය සමරකෝන් මහතා පිටු අටකින් සමන්විත ලේඛනයක් එවා තිබුණා. ඒ කියන බලනහරය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රුධිරය ගමන් කරන නහරයක් නොවෙයි. එය කණ්ඩරාවක්. බලනහර තුනක් කැපුණා කියලයි සමාජයේ යන්නේ. ඒ කියන කණ්ඩරාව නොහොත් බලනහර දෙකක් විතරයි මිනිස් ශරීරයේ පිහිටා තියෙන්නේ. ඒක කැපුණොතින් වෙන්න පුළුවන් නරකම දේ තමයි ඇවිදින්න බැරිවෙන එක. ඒත් මියගිය රංග නිශාන්ත මහතාගේ කණ්ඩරා කැපිලා තිබුණේ නැහැ.

තවත් තුවාල තිබුණා කියලත් සමාජ මාධ්‍ය ජාලවල පැතිර යනවා අපි දැක්කා. ඒ තුවාල මරණින් පසුව ඇතිවූ තුවාල. සිදුවීම වෙලා තිබුණු දිනයේ අව්රශ්මිය උදේ අට වන විට සෙල්සියස් අංශක 28.45 ව සටහන් වෙලා තිබුණා. ඒ වගේම පෙරවරු එකොළහයි තිහ වන විට එම රශ්මිය සෙල්සියස් අංශක තිස් දෙකයි දශම හයක් වෙලා තිබුණා.මේ දත්ත අපි නිවැරදිව ලබාගෙන තිබුණා. මියගිය අයකුගේ. සම රුධිරය ඉරෙන්නට පැළෙන්නට ඒ රස්නය බලපානවා. මරණකරුගේ ආමාශගතව ආමාශ තරලය මිලි ලීටර් දහයක පමණ ප්‍රමාණයක් හැරුණම අන් කිසිවක් තිබුණේ නැහැ.”

විශේෂඥ වෛද්‍යවරයාගේ සාක්ෂි ලබා ගැනීම අවසන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විමසුවේ අධිකරණයට වැදගත්ම කොටස මරණයට හේතුව විමසීමයි. ඊට අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්ඩා මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“ඔක්සිජන් නොමැතිව කාටවත් ජීවත් වෙන්න බැහැ. රුධිර වහනය නිසා මොළේට ඔක්සිජන් යන්නේ නැහැ. එම නිසා ශෛලවලට ඔක්සිජන් අරන් යන්නත් බැහැ. ඒ අනුව මොළය, හදවත, වකුගඩු, අක්මාව පිළිවෙළින් අකර්මණ්‍ය වෙනවා. මේ මරණය ඒ තත්ත්වය නිසා ඇති වුණු ස්වාභාවික මරණයක්. වම් අත හා දෙපාවල කැපුම් තුවාලවලින් රුධිර වහනය නිසා ඇති වූ කම්පන තත්ත්වයක් උඩ සිදුවූ මරණයක් බව කණ්ඩායම තීරණය කළා යැයි පවසමින් ඉන් ඔබ්බට මේ පිළිබඳව පැවසීමට කිසිවක් නොමැති බව ද ඔහු පැවසීය.

අනතුරුව සාක්ෂි ලබාදුන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා වසර විසි එකකට වඩා කාලයක් අපරාධ පරීක්ෂණ කර ඇති බව කියමින් ස්ථානයේ පරීක්ෂණය පිළිබඳව සාක්ෂි ලබා දුන්නේය.

පොලිස් නිල සුනඛ අංශයේ සැරයන් සුනිල් මලිගරත්න මහතාගෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සාක්ෂි ලබාගත් අතර එහිදී මරණකරුගේ නි‍වසේ කෙසෙල් පඳුර අසල තිබී සොයා ගත් පිහිය නිල සුනඛ flash (1449)ට ඉව කරවූ අතර එය ඉව කළ සුනඛයා එම නි‍ෙවසේ මුළුතැන්ගෙට ගොස් වාඩි වූ බවට සාක්ෂි ලබාදෙමින් පැවසීය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අනතුරුව අධිකරණයේ අවධානය අපරාධ නඩු විධිවිධාන පනතේ තිස් වැනි පරිච්ඡේදය කෙරෙහි යොමු කොට ඒ අනුව නියෝග ලබාදෙන ලෙස අයැද සිටියේය.

සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නියෝගය සඳහා නඩුව මේ මස 12වැනි දින යළි කැඳවන්නැයි නියම කළේය.

නඩුව 12වැනි දින යළි කැඳවයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *