යෝෂිත “ඇතුළට සහ එළියට” කතා පුවත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සහ ඔහු ඇප මත මුදාහැරීමට අදාළ සිදුවීම් මෙලෙසය.
යෝෂිත රාජපක්ෂ මහතා පෙ.ව. 9ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේය.
ඒ, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවැති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලයවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගීවීමට අවස්ථාව සලසා ගැනීම යන චෝදනාව යටතේ සිදුකරන විමර්ශනයට අනුව සිදුකළ කැඳවීමකට අනුවය.
එහිදී පැය 2කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ඔහු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්යක්ෂ ජනරාල් අමා විජේසිංහ මහත්මිය සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, 2016 ජූලි 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
නිසි සුදුසුකම් සහිත ඉල්ලුම්කරුවන් සිටියදී සුදුසුකම් සපුරා නොමැති මෙම සැකකරු නාවික හමුදා පුහුණුවක් සඳහා එංගලන්තයට සහ යුක්රේනයට යැවීම සහ ඊට අවශ්‍ය කටයුතු සැලසීම සම්බන්ධයෙන් ඇය අධිකරණයට කරුණු අනාවරණ කළේය.
“ස්වාමීනි, 2006 වසරේ ඔක්තෝබර් මස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි මේ සැකකරු එංගලන්තයේ ‘රෝයල් නේවි යං ඔෆිසර්ස් කෝස්’ නමැති පාඨමාලාවට සහභාගි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කරනවා. එම පාඨමාලාවට සහභාගි වීම සඳහා නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස තේරී පත්වී තිබිය යුතුයි.
ඒ වගේම ගණිතය සහ විද්‍යාව විෂයන්වලින් අපොස උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුයි. නමුත් මේ සැකකරු උසස් පෙළ විභාගය ලියලා තිබෙන්නේ කලා අංශයෙන්.
ඒ අනුව මෙම සැකකරුට අදාළ පාඨමාලාවට සහභාගිවීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරනවා. ඒ අනුව විද්‍යාව, වානිජ හා කලා අංශවල පෙනී සිට විෂයන් දෙකක් සමත්වීම ප්‍රමාණවත් බවටත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් වී තිබිය යුතු බවටත් සුදුසුකම් වෙනස් කරමින් පුවත්පත් දැන්වීම් පළ කරනවා.
ඉන් අනතුරුව 2006 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මෙම සැකකරු නාවික හමුදාවට බඳවාගැනීම සිදුවෙනවා. ඔහු සමග ශිෂ්‍ය භටයින් විසිහය දෙනෙකු බඳවාගැනීම සිදුවෙනවා.
මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මස 06 වනදා. ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර තමයි මොහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉන් පසුව 2007 වසරේ ජනවාරි මස පළමුවැනිදා අදාළ පුහුණුවට සහභාගි වීම සඳහා සැකකරු එංගලන්තයට පිටව යනවා.
මෙවැනි පාඨමාලාවකට සහභාගි විය හැක්කේ නාවික හමුදාවේ විධායක අංශයේ දක්ෂතම ශිෂ්‍යයින් ලෙස දක්ෂතා දැක්වූ අයට පමණයි. 1995 වසරේ සිට 2010 වසර දක්වා නිලධාරින් පස් දෙනෙකු මේ පාඨමාලාවට යවා තිබෙනවා. ඒවා ශිෂ්‍යත්ව වශයෙන් තමයි යවලා තිබෙන්නේ.
නමුත් මේ සැකකරු සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් රුපියල් 6,284,218.61ක මුදලක් රජයෙන් වැය කර තිබෙනවා. මෙම ක්‍රියාව තුළින් රජයට එවැනි මුදලක් පාඩු වී තිබෙනවා. එමගින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකර තිබෙනවා.
මෙම සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එක්ව මෙම කුමන්ත්‍රණය සිදුකර තිබෙන බව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා”.
ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භ වී තිබෙන්නේ මීට වසර දහයකට පමණ පෙර බව සඳහන් කළේය.
“ස්වාමීනී මගේ සේවා දායකයාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඕනෑම පුද්ගලයෙකුට පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තිබෙනවා නම් පමණයි තෝරාගන්නේ. ඒ වගේ මගේ සේවාදායකයාත් මේකට අයදුම් කළා. ඔහුව තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නැහැ. එනිසා ඔහු පිට වරදක් පටවන්න බෑ. ”
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා නියෝග කළේ සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසය.
එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිල්ල අගෝස්තු මස 4 වැනිදා යළි කැඳවීමට නියමිතය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

