පද්මේගේ වෙඩික්කරු මැලේසියාවේදී අත්අඩංගුවට
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ මාටියා නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පසුගිය දා (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු මෙරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ.
මෙසේ පිටුවහල් කර ඇත්තේ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නැමැති 42 හැවිරිදි අයෙක්.
කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද (Red Notices) මින් පෙර නිකුත් කර තිබී ඇත.
මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ ජූලි 22 වනදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී සිදුකළ ද්විත්ව ඝාතනයක්ය.
එහිදී පස්පොඩ්ඩා නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි. එමෙන්ම එහි රැඳී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමටත් මොහු සෘජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා (AirAsia) ගුවන් සේවයට අයත් AK-047 දරන ගුවන් යානයෙන් පසුගිය දා (25) රාත්‍රී 09.45ට පමණ මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පෑලියගොඩ පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

