රු.මි 5,800ක වැට් බදු මුදල් වහාම ගෙවා අවසන් කරන – ඇලෝසියස්ට අධිකරණ නියෝග
නිදහසට කරුණු නොකියා ගෙවීම් පැහැර හැර තිබෙන රුපියල් මිලියන 5,800ක වැට් බදු මුදල්, වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් WM මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියම කර තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
මෙම හිඟ බදු මුදල්වලින් කොටසක් මේ වනවිට ගෙවා ඇති බවයි එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂකවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කරුණු දක්වමින් කියා තිබේ.
මේ වනවිට විත්තිකාර සමාගමේ දේපළ තහනමට ලක්වී, අදාල දේපල බැංකුවලට සින්න වී ඇති බව නීතිඥයා විසින් පෙන්වා දී ඇති අතර, එම මුදල් ගෙවූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බවද කියා ඇත.
අදාළ බදු මුදල් ගෙවා තිබේ නම්, ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවද, අදාළ ලියවිලි සොයා ගැනීමට නොහැකි බවට ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවද දේශීය ආදායම් කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කියා තිබේ.
බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත්, විශාල බදු මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැර හැර හිඟ තබා ඇති නිසාත්, විත්තිකරුට තවදුරටත් සහන සලසා දීමට හැකියාවක් නොමැති බව එම නීතිඥයා සදහන් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්, විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දී තිබෙන අතර ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙසට විත්තිකරුවන්ට නියෝග කර තිබේ.
බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද? නැද්ද? යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙස අතිරේක මහේස්ත්‍රාත් නියම කර ඇති අතර, ඉන් අනතුරුව මෙම නඩුව සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කර ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

