Latestවිදේශීය

අමෙරිකාව සහ ඉරානය නැවතත් සාකච්ඡාවට සූදානම්

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය දැනට අන්‍යෝන්‍ය ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට සහ ලබන අඟහරුවාදා කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හිදී සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බව අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වන Axios ඊයේ (28), ඉරිදා වාර්තා කළේය.

තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉදිරියට යාමට නියමිත බැවින් දෙපාර්ශවයම දැනට පසුබැසීමට තීරණය කර ඇති අතර, නෞකාවලට නිදහසේ ගමන් කළ හැකි බව අමෙරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කළ බව එම වාර්තාවේ සඳහන් වේ.

හෙට, අඟහරුවාදා පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා මුලින් සැලසුම් කර තිබුණේ ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට වන අතර එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳවය. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැවතත් උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා දෝහා වෙත ගෙනයාමට පියවර ගත් අතර, එහිදී මෙම උපායමාර්ගික ජල මාර්ගයේ නැව් ගමනාගමන ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට තීරණය විය.

මීට සතියකට පෙර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡා අතරතුරදී, එම සමුද්‍ර සන්ධියේ ගමනාගමන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ඇමරිකානු හමුදාව සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අතර හදිසි ඇමතුම් සේවාවක් ස්ථාපිත කිරීමට අමෙරිකානු දූත පිරිස ඉරානය සමඟ එකඟ වී තිබුණි.

කෙසේ වෙතත්, සෙනසුරාදා වන විටත් එම හදිසි ඇමතුම් සේවාව ක්‍රියාත්මක මට්ටමේ නොතිබූ බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට එරෙහිව ඉරානය දිගින් දිගටම සිදුකරන ආක්‍රමණ පෙන්වා දෙමින් එක්සත් ජනපදය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද එම කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර තිබුණි.
@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *