2010-2025 කොළඹ මහ නගර සභාවේ දූෂණ වංචා තව තවත් හෙළිවෙයි
කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහ පරිමාණයේ දූෂණ වංචා හිතා ගැනීමටත් නොහැකි තරමට සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති ජනපති කොමිසමට පෙනී ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කොමිසමේ කාලය තවත් මාස 6ක් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර දිසානායක පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයෙන් (29) අවසන් වීමට නියමිත කොමිසම දෙසැම්බර් 31දා දක්වා දීර්ඝ කර ඇත.
2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලබන්නේ ජනාධිපති අනුර දිසානායක විසිනි.
කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරු කැඳවා ඔවුන්ගෙන්ද ප්‍රශ්න කිරීමට කොමිසම සූදානමින් සිටියි. ඒ අනුව ලබන සතියේදී හිටපු නගරාධිපති රෝසි සේනානායක කොමිස මහමුවට කැදවීමට නියමිතය.
ඒ මහ නගර සභාව තුළ ඇගේ කාලය තුළ සිදුව ඇති සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න කිරීමට බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාකීර්ණ සහ ව්‍යාපාරික ස්ථානවල සිය කාර්යාල ඇති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඒ තැන්වල වාහන නැවැත්වීමට ඉඩ වෙන්කරගෙන එම ස්ථාන ඉහළ මිල ගණන්වලට අලෙවි කරමින් පසුගිය පාලන කාලවලදී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු විසින් කළ මහා පරිමාණයේ වංචාවක් සම්බන්ධයෙන් ද මේ වන විට කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිය කාර්යාලයට පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීමට යැයි කියා සභාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර වෙන්කරගන්නා ඉඩ ප්‍රමාණය මන්ත්‍රීවරු විසින් වාර්ෂිකව අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ 10 සිට ඉහළ ගණන්වලට බවත් ඇතැම් මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ 30ත් 40ත් අතර ඉහළ ගණන්වලට එම වාහන නැවතුම් ස්ථාන අලෙවි කර ඇති බවට තොරතුරු කොමිසමට අනාවරණය වෙමින් ඇත. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු 119 දෙනාගෙන් 108 දෙනකුම මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
සිය කාර්යාල ඇති බව සඳහන් කරමින් ලිපිනයන් ලබාදී ඇති ස්ථානවල ඇත්තේ ව්‍යාපාරික ස්ථාන බවත් එම ව්‍යාපාරික ස්ථාන පවා ඇත්තේ කොළඹ නගරයේ ඉතා ජනාකීර්ණ සහ ජනතාව වැඩි වශයෙන් පැමිණන ව්‍යාපාර ස්ථාන බවත් මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරෙයක්ගේ කාර්යාලයක් තම ව්‍යාපාරික ස්ථානවල නොතිබුණු බව එකී ව්‍යාපාරික ස්ථානවලින් කළ සොයා බැලීමේදීද පැහැදිලි වී තිබේ. සිදුව ඇත්තේ මන්ත්‍රීවරුන් විසින් මුදලට එකී ව්‍යාපාරික ස්ථානවලට වාහන ගාල් කිරීමට ඉඩ අනීතික ලෙස වෙන්කර දීම බව ද පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ මන්ත්‍රීවරුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොමිසම සූදානමින් සිටියි.
හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතා මෙම කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.
කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

