හෙල්ල විසිකරන්නන් සොයා රටපුරා මෙහෙයුමක්
ශ්‍රී ලංකාව තුළ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් වැඩි වශයෙන් ජාත්‍යන්තර තරගවලට යොමු කිරීමේ අදහසින් රටපුරා සංවිධාන කරන ‘Javelin Fiesta’ නිපුණතා හඳුනා ගැනීමේ ජාතික වැඩසටහන මේ මස 31 වැනිදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මහනුවර බෝගම්බර පිටියේදී ආරම්භ වේ.
හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඉතා කෙටි කලක් තුළ විශාල අවධානයක් ඇති කළ රුමේෂ් තරංග මේ වැඩසටහනේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන අතර, ඔහුගේ ඉදිරි පුහුණුවීම් සහ ක්‍රීඩා සැලසුම් වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීමද සිදු විය.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මේ සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඇමැති සුනිල් කුමාර ගමගේ හා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති අතර, එහිදී මේ ජාතික වැඩසටහනේ අරමුණු සහ ව්‍යූහය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
පාසල්, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා පාසල් සහ විවෘත අංශ ඔස්සේ මධ්‍යම පළාතේ හෙල්ල විසි කිරීමේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන්ට විද්‍යාත්මක පුහුණුවක් ලබා දී ජාතික සංචිතය දක්වා යොමු කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. අවුරුදු 16න් පහළ, අවුරුදු 18න් පහළ, අවුරුදු 20න් පහළ සහ විවෘත කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයෙන්ම කාණ්ඩ 8ක් යටතේ තරග පවත්වා දක්ෂතා හඳුනා ගැනේ.
තේරීම් ක්‍රමවේදය අනුව ශාරීරික හැකියාවන් ඇගයීම මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනකු සහ හෙල්ල විසි කිරීමේ විශේෂිත තාක්ෂණික පරීක්ෂණ මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනකු බැගින් සෑම කාණ්ඩයකින්ම 8 දෙනකු තෝරාගනු ඇත. අනතුරුව මධ්‍යම පළාතෙන් සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම පළාත් හෙල්ල විසි කිරීමේ පළාත් සංචිතය ස්ථාපිත කෙරේ.

පළාත් මට්ටමින් ආරම්භ වන මේ වැඩසටහන ඔස්සේ ඉදිරියේදී සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ටයන් හඳුනාගනිමින්, ජාතික මට්ටමේ කඳවුරු සහ විශේෂ පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා දිය හැකි දක්ෂයන් බිහි කිරීම අපේක්ෂාව වේ. මේ දක්ෂයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේය.
හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් උලෙළට 2016දී සුමේධ රණසිංහ සහභාගි වූ අතර, 1992දී විජිතා අමරසේකර, 2008දී නදීකා ලක්මාලි හා 2024දී දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකාව නියෝජනය කළහ. ඒ අනුව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම ඔලිම්පික් මට්ටම දක්වා දක්ෂයන් බිහි වී ඇතැයි නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න මහතා පෙන්වා දුන්නේය.
මේ මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එස්. අච්චුදන්, වැඩසටහන් සංවිධායක, හිටපු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක හර්ෂණ කිංස්ලි යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
