Latestදේශීයනවතම ලිපිමතවාද

වින්දිතයන් සහ වින්දිතයන්ගේ යුක්තියේ ඉල්ලීමට එරෙහි මිනිසුන් අතර සටන

(වංගීස සුමනසේකර)

පවත්නා අධිකරණ ක්‍රියාවලිය ‘පලිගැනීමක්’ යන මතය තියුණු ලෙස විවේචනය කළ යුත්තේ එමගින් සිදුවෙමින් තිබෙනා දේ දරුණු ලෙස විකෘති කරන නිසාය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සරත් ෆොන්සේකාට සහ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ගත් ක්‍රියා මාර්ග පලිගැනීමක් බව පැහැදිලි වෙයි. එයට හේතුවද අපි සියලු දෙනා දනිමු. සරත් ෆොන්සේකා යනු යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ රෙජීමය සමග ඇති වූ විරසකය මත මහින්ද රාජපක්ෂට එරෙහිව ජනාධිපතිවරණයට තරඟ කළ පුද්ගලයාය. ශිරාණි බණ්ඩාරනායක රාජපක්ෂ රෙජීමයට එරෙහිව අගවිනිසුරුවරිය ලෙස තමන් සතු වූ බලය අභ්‍යාස කරන්නට උත්සාහ කළ චරිතයයි.

මෙවැනි ප්‍රශ්නයක් පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු සමග වත්මන් ආණ්ඩුවට තිබෙන්නේද? එවැන්නක් නොමැති බව ඉතාම පැහැදිලි වෙයි. ඒ වෙනුවට සිදුව ඇත්තේ දැන් පවත්නා නීති යටතේ ඔවුනට එරෙහිව එල්ල වූ චෝදනා විභාගයට ගැනීමයි. දැන් පවත්නා නීති සම්බන්ධයෙන් අපට විවිධ මත තිබිය හැකිය. නිදර්ශනයක් ලෙස මා මරණ දඬුවමට විරුද්ධ වන්නෙකි. එය සංශෝධනය විය යුතුය කියා මම සිතමි. නමුත් එය කළ හැක්කේ පූජිත ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහි චෝදනා විභාග වන අධිකරණ ක්‍රියාවලියේ නොවේ. එය එයින් බාහිරව සිදුවිය යුතු වෙනම සංවාදයකි.

මෙය රාජසිංහ රජ කාලයේ සිදුවූ පරිදි දඬුවම් දීමක් යන ශිරාල් ලක්තිලකගේ තර්කය අසාර්ථක එකක් වන්නේ මේ නිසාය. ශිරාල්ට අනුව දැන් සිදුවෙමින් තිබෙන්නේ ජවිපෙ විසින් සමාජයට මුදාහරිමින් තිබෙන සූක්ෂම දේශපාලනයක ප්‍රතිඵලයක් ලෙස අධිකරණ මනසට රාජසිංහ රජ සමයේ දඬුවම් දුන් ආකාරයේ චින්තනයක් කාන්දු වීමයි. මෙය මුළුමනින් වැරදි විග්‍රහයකි.

අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය බල දේශපාලනයෙන් වියුක්ත වනවා කියා මා කිසිසේත් යෝජනා කරන්නේ නැත. 2015 යහපාලන ආණ්ඩුව යටතේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු විභාග කිරීමට අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු ප්‍රතික්ෂේප කළ පුවත එකල රටේ උණුසුම් සංවාදයක් වූ බව අපට මතකය. එකල අපේ රටේ නීතියට ඉහලින් සිටි පිරිසක් විය. අත තැබීමට නොහැකි පිරිසක් විය. ඔවුන් කුමන අපරාධයක් කළද ඔවුනට එරෙහිව යුක්තිය ඉටු කරගැනීමක් පිළිබඳව බලාපොරොත්තුවක් වූයේ නැත.

තවදුරටත් එලෙස නීතියට ඉහලින් සිටිනා පිරිසක් අපේ රටේ නැත. එලෙස සිටි පන්තියෙන් බාහිර පිරිසකට අපේ රටේ බලය හුවමාරු වී තිබේ. එනිසාම දැන් අධිකරණයේ විනිසුරුවන්ට ඔවුන්ගේ අභිමතය පරිදි තීන්දු දීමට නිදහස තිබේ. එහිදී ඔවුනට තීන්දු දිය හැක්කේ දැන් පවත්නා නීති අනුව මිස සිය පුද්ගල අභිමතය අනුව නොවේ. එහිදී මරණ දඬුවම වැනි ශිෂ්ඨ සමාජයකට තරම් නොවන නීති තිබෙන්නේ නම් ඒවා සංශෝධනය කිරීම අධිකරණයේ වගකීමක් නොව ව්‍යවස්ථාදායකයේ වගකීමකි. එසේ නොමැතිව අධිකරණය ඉදිරියේ පවතින හරයාත්මක නීතියට හෝ කාර්යපටිපාටික නීතියට පිටින් විනිසුරුවන් දඬුවම් නියම කළ හැකි ‘චින්තනය’ කුමක්ද කියා මට පැහැදිලි වන්නේ නැත.

එසේ කීමෙන් සිදුකරන්නේ කිසිදා යුක්තිය ඉටු කරගත නොහැකි වනවා කියා සිතු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වැනි අයට පළමුවරට යුක්තිය ඉටු කරගැනීමේ බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා යන්න සිතා මතා යටපත් කිරීමයි. එම යුක්තිය අසම්පූර්ණ සහ පාර්ශවීය එකක් බවට සැකයක් නැත. මෙයට හේතුව වන්නේ මෙම ලෝකයේදී පරිපූර්ණ යුක්තිය ඉටු කරගත නොහැකි වීමයි. මා සිතනා ආකාරයට යුක්තියේ ලෝකයක් බිහි වීම අවසානයේදී දේශපාලනික පරිවර්තනයක් නොව සත්භාවවේදී පරිවර්තනයකින් සිදු විය යුතුය. අපට දැන් කළ හැක්කේ කවදා හෝ වියහැකි එවැනි පරිවර්තනයකට පක්ෂපාතී වීමයි. මෙලෙස ‘පක්ෂපාතී වනවා’ යන්නෙහි නිශ්චිත අර්ථය වන්නේ තමන්ට එරෙහිව සිදු වූ බරපතල අසාධාරණයට එරෙහිව යුක්තිය ඉල්ලා සිටින පාස්කු වින්දිතයන් වැනි අය වෙනුවෙන් පෙනී සිටීමයි.

දැන් තිබෙන්නේ එලෙස පෙනී සිටිනා අය සහ එම වින්දිතයන්ගේ යුක්තියේ ඉල්ලීමට එරෙහි වන මිනිසුන් අතර සටනකි. මෙහි අතරමැද ආස්ථානයක් නැත. මෙය අතිශය බිහිසුණු සටනක් වන්නේ මේ නිසාය. මෙහි අනාගතය කුමක්ද කියා මා දන්නේ නැත. මා සිටගන්නේ කවර පාර්ශවයේද කියා පමණක් මම දනිමි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *