Latestදේශීය

ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව නීති මාලාවක්

ජගත් ආදිවාසි දිනයට සමගාමිව පරිසර ආරක්ෂණය සහ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව නීතිමය රෙගුලාසි මාලාවකට පරිසර අමාත්‍යතුමා අත්සන් තබයි.

මෙම  නව නීතිමය රේගුලාසි සදහා ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු කාර්යාලය තුලදි   ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දමිමික පටබැඳි මහතා විසින් අත්සන් තැබු අතර එම අවස්ථාවට ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි,ගරු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි,පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම්,මංජුල අමරනාත්, අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) බුවනෙක හේරත් යන මහත්වරුන් සහභාගි විය.

අගෝස්තු මස 09 වන දිනයට යෙදි ඇති ජගත් ආදිවාසි දිනයට සමගාමිව මෙම නව රේගුලාසි ප්‍රකාශයට පත්කිරීමට අදාලව ලේඛණ සදහා අත්සන් තබන අතර ආදිවාසී ප්‍රජාවගේ සම්ප්‍රදායික උරුමය සහ  අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන මේ තුලින් ශක්තිමත් වේ.පරිසර විෂය භාර  අමාත්‍යවරයා ලෙස  වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ පවතින ප්‍රතිපාදනවලට යටත්ව පැවරි ඇති බලතල ප්‍රකාරව (469 වන අධිකාරය) 3 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) වන ජේදය සමග කියවිය යුතු 71 වන වගන්තිය යටතේ නව නියෝග මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම නියෝග මඟින් ජාතික උද්‍යාන සහ නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීම අරමුණු කෙරේ.

පසුගිය වසරේ (2025) ජනවාරි 22 දින පාර්ලිමේන්තුවේ පැවැති ආදිවාසි පනත පිළිබද  කමිටුවේදි ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීම ගැන සහ වන රක්ෂිතයන් සදහා ඇතුළුවිමේදි ආදි වාසි ප්‍රජාවට මුහුණදීමට සිදුවන නීතිමය ගැටලු සම්බන්ධයෙන්ද දිර්ඝව අවධානය යොමු විය.

ප්‍රධාන ලෙස මෙරට රක්ෂිතයන් සදහා ඇතුළුවිමේදි ආදි වාසි ප්‍රජාවට පවතින නීති පද්ධතිය තුල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම නව රේගුලාසි ප්‍රකාශයට පත්කරයි. විශේෂයෙන් මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව පාරම්පරික ආදිවාසි ජනප්‍රජාවට නව රේගුලාසි හදුන්වාදීමක් සමග සිය දෛනික ඇවැතුම් පැවැතුම් සහ ජිවනෝපායන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුවනු ඇත.

සීමා නියාමනයට නව රේගුලාසි තුලින් කරුණු ඉදිරිපත් කර ඇති අතර  පාරම්පරික යැපුම් රටාවන්ට කොන්දේසි සහිත නිල අනුමැතියක් සහ වාණිජ කටයුතුවලට රක්ෂිතයන් භාවිතා කිරීමට අදාලව දැඩි කොන්දේසි පණවා තිබිම මෙම නව රේගුලාසිවල වල විශේෂත්වයක් වේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ ස්භාවික ජෛව පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබෙන නීතිමය ප්‍රතිපාදන ආරක්ෂා කිරීම එහි අරමුණයි.

නව නියෝග මඟින් මාදුරු ඔය සහ ගල්ඔය යන ජාතික උද්‍යානවලට අයත් බලපෑම් කලාපවල ජීවත්වන ආදිවාසී ප්‍රජාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පවතින සීමාවන් තුල ක්‍රියාකරකම්  නියාමනය කෙරේ. මෙහිදී “බලපෑම් කලාප” ලෙස අර්ථ දක්වා ඇත්තේ,  මාදුරු ඔය ජාතික උද්‍යානයට අදාළව මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (අ7) දඹාන ග්‍රාම නිලධාරී වසම සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (142 ඇ) පරණගම ග්‍රාම නිලධාරී වසම.  ගල්ඔය ජාතික උද්‍යානයට අදාළව මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (104ඇ) ගල්ගමුව ග්‍රාම නිලධාරී වසම් අයත් වේ.

පුද්ගයන් ලියාපදිංචි කරනු ලබන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හැඳුනුම්පත හරහා ලබාගත් තොරතුරු හෝ තහවුරු කළ හැකි ලේඛණයන් තුලින් ලියාපදිංචිය සිදු කරනු ලබන අතර   අවසර ලත් දොරටු අදාළ බලපෑම් කලාපවල පදිංචි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ආදිවාසී සාමාජිකයන්ට මෙම නියෝග යටතේ ලියාපදිංචි වීමට සුදුසුකම් පවතී.

ඒ සඳහා වන ඉල්ලුම්පත අදාළ ආදිවාසී ප්‍රජා නායකයාගේ හෝ (නැගෙනහිර, උතුරු හා ඌව පළාත් සඳහා වන) නම් කළ නායකයාගේ නිර්දේශය සහිතව ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් මඟින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ යුතුය. ලියාපදිංචි වන සාමාජිකයන් සඳහා ඡායාරූප සහිත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කෙරෙන අතර, රක්ෂිතයට ඇතුළු වන සෑම අවස්ථාවකදීම එය ළඟ තබා ගැනීම අනිවාර්ය වේ.  රක්ෂිතයට ඇතුළු වීම සහ පිටවීම සඳහා විශේෂිත දොරටු පමණක් භාවිත කළ යුතුය. 

වනජීවී නිලධාරීන් විසින් ඇතුළු වන හා පිටවන පුද්ගලයන්ගේ තොරතුරු විශේෂ ලේඛනයක සටහන් කරනු ලබන අතර   දැඩි කොන්දේසි සහ පාරිසරික මාර්ගෝපදේශ යටතේ ලියාපදිංචි ආදිවාසී සාමාජිකයන් රක්ෂිත තුළ නිරත වන සියලු ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට අනුව පමණක් සිදු කළ යුතු අතර, නවීන හෝ වාණිජ උපකරණ භාවිතය සම්පුර්ණයෙන්  තහනම් සහ නීති විරෝධි  වේ.

එමෙන්ම එකතු කරනු ලබන ද්‍රව්‍ය පෞද්ගලික යැපුම් අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ යුතු අතර වාණිජ කාර්යයන් සඳහා යොදාගැනීමට අවසර නොලැබේ.  ශාක ද්‍රව්‍ය නෙළීමේදී ශාක පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි මාර්ගෝපදේශ මාලාවක්ද පනවා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *