ප්රජාතන්ත්රවාදය කියන්නේ පාලකයාගේ කැමැත්ත කියලා හිතපු යුගය අවසානයි – ටිල්වින් සිල්වා බේරුවලදී කියයි
අපි මෙයට පෙර එකතු වුණේ අපේ ආණ්ඩුවක් හදන එක ගැන කතා කරන්න. අද එකතු වී ඉන්නේ අපේ ආණ්ඩුව ගැන කතා කරන්න. මේක එන්.පී.පී. එකේ ආණ්ඩුව නොවෙයි. මේ රටේ ජනතාවගේ ආණ්ඩුව. අපි හැමෝගෙම ආණ්ඩුව. සුන්බුන් විපක්ෂයේ කණ්ඩායම් කියන්න පටන් ගත්තා මේ ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙලා කියලා. ඒ අයට අපි කියනවා, මෙතන තියෙන්නේ මොකක්ද කියලා බලන්න. මේ තමයි ඇත්ත ජන බලය. මාලිමාවේ ආණ්ඩුවක් පිහිටුවන්න අපට දීපු ජනවරම, ජන බලය, බලා ගන්න ඕනෑ නම්, මෙතනට රැස්වී සිටින දස දහස් සංඛ්‍යාව ජනතාව දෙස බලන්න කියලා අපි ඒ ගොල්ලන්ට කියනවා. ඡන්දයට ඉස්සර දැක්කේ නැති මුහුණු දැන් දකින්න ලැබෙනවා. අනුර සහෝදරයා බුලත්සිංහලදී කතා කරලා මෙතනට එන්න නියමිතයි. මේ දිස්ත්‍රික්කය තුළ එකවිට රැස්වීම් දෙකක් තියන්න අපි සමත් වී සිටිනවා. ඒ තමයි අපේ ජන බලය. සුන්බුන් විපක්ෂය සහ ඒ අයට උදව් කරන සමහර ජන මාධ්‍ය මෙනවා කීවත් මාලිමා ආණ්ඩුව ගැන තැබූ ජනතා විශ්වාසය පොඩ්ඩක්වත් අඩුවී නැති බව පැහැදිලියි. මුළු රටම එක්කර ආණ්ඩුවක් හැදුවා නම් ඉතිහාසයේ පළමුවරට ඒ ආණ්ඩුව හැදුවේ ජාතික ජන බලවේගය විතරයි.
මෙයට කලින් උතුරේ ජනතාව ආණ්ඩුවක් පිහිටුවන්න ඡන්ය දී නැහැ. නැගෙනහිරත් එහෙමයි. ඒ පළාත්වල මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලයි, ආණ්ඩුවලට එකතු කර ගත්තේ. තොණ්ඩමන්ලාට ඇමතිකම් කිහිපයක් දීලයි, වතුකරයේ නියෝජිතයන් එකතු කර ගත්තේ. අපි පසුගිය මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කය හැර ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 21ක්ම ජයග්‍රහණය කරලා මාලිමාවේ ආණ්ඩුව පිහිටෙව්වා. ඉතිහාසයේ පළමුවැනි වතාවට උතුරේ, වතුකරයේ සහ නැගෙනහිර ජනතාව මාලිමාවට ඡන්දය දී දැන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු වී සිටිනවා. බිම් මට්ටමේ ජනතාව එකතු කර ගනිමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනඟන්න කැපවීමෙන් ඉදිරියට යන බවට සහතිකය අපි ඔබ හැමදෙනා ඉදිරියේ තහවුරු කර තිබෙනවා. විපක්ෂයේ උදවිය තැන් තැන්වල කියමින් යන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්ර විරෝධී බවයි. ඒකාධිපති ගමනක් යන්න හදන බවයි. මෙහෙම කියන්නේ 18 වැනි සංශෝධනය ගෙනත් ජනාධිපතිවරයාගේ ධූර වාර ගණන අසීමිතව වැඩිකර ගත් උදවිය. අපි 17 වැනි සංශෝධනයෙන් හඳුන්වාදුන් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් 18 වැනි සංශෝධනය ගෙනැත් ජනාධිපතිවරයාගේ ධුර වාර ගණන අසීමිත කර ගත්ත මහත්වරු දැන් අපට කියනවා, ඒකාධිපති ගමනක් ගැන. ඒකාලයේ සමහර සංවිධාන සිටියේ කොහේද කියලා අපට අහන්න වෙනවා.
ඒ ගමන නවත්වා 19 වැනි සංශෝධනය ගෙනාවාට පස්සේ 20 වැනි සංශෝධනය ගෙනැත් තමන් සතුව තිබෙන බලය වැඩිකර ගත්තා. අපි 22 වැනි සංශෝධනය ගෙනැත් තිබෙන්නේ පොදු මහජනතාව විශාල පීඩාවකින් පෙළෙන අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදය අවසන් කර, කඩිනමින් යුක්තිය සලසා දීමටයි. මේ සංශෝධනයෙන් අපට මොකුත් හම්බ වෙන්නේ නැහැ. තව පැත්තකින් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන මහත්වරු හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක මහත්මියට විරුද්ධව දෝෂාභියෝගයෙක් ගෙනත් පාර්ලිමේන්තුවේ නඩු අහලා, ධුයෙන් නෙරපා හැරි ආකාරය අපට අමතක නැහැ. ඒ වෙලාවේ කටවහගෙන සිටි සමහර සංවිධානත් දැන් 22 වැනි සංශෝධනයට විරුද්ධව කතා කරනවා. ව්‍යවස්ථාව කඩා අධිකරණයට බලපෑම් කළ, ඉතිහාසයක් තිබෙන්නේ. අධිකරණයෙන් තීන්දුවක් දුන් පසු, විනිසුරුවරුන්ගේ නිවාස ඉදිරියට ගොස් ගල් ගහලා බලපෑම් කළ ඉතිහාසයක් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඊට අයිති කෙනෙක්. ඒගොල්ලන් තමයි අපට ව්‍යවස්ථාව, ප්රජාතන්ත්රවාදය ගැන උගන්වන්න එන්නේ. ප්රජාතන්ත්රවාදය අහිමි කිරීමෙන් වැඩිපුරම බැට කෑව දේශපාලන ව්‍යාපාරය අපි. ඒ නිසා ප්රජාතන්ත්රවාදයේ අගයත්, ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද කියලා අපි හොඳින්ම දන්නවා. ප්රජාතන්ත්රවාදය කියන්නේ පාලකයන්ගේ කැමැත්ත නොවෙයි, පොදු ජනතාවගේ අවශ්‍යතාවය කියලා අපි දන්නවා. අපේ ප්රජාතන්ත්රවාදය කියන්නේ බොරු නිදහස නොවෙයි, පාලකයන්ට වරප්‍රසාද නොවෙයි, පොදු ජනයාට සහන, පොදු ජනයාට යුක්තිය, පොදු ජනයාට සත්‍යය පහදා දීමයි අපේ ප්රජාතන්ත්රවාදය කියන්නේ.

ඒකට ඒගොල්ලෝ අකමැති වුණාට අපට කරන්න දෙයක් නෑ. තව පැත්තකින් දේශපාලන පළි ගැනීම් කරන්න විපක්ෂයේ ඇතුළට දාන බව කියනවා. අපිට ඒ ගැන කියන්න තියෙන්නේ කවුරු හරි රක්ෂිත බන්ධනාගාර ගත කළා නම්, නඩු පැවරුවා නම්, දඬුවම් පැමුණුවා නම්, ඒ සියල්ල කළේ ඊට අදාළ ආයතනවලින්. යම් පුද්ගලයෙකුට ඇප දෙනවාද, රක්ෂිත බන්ධනාගාරගත කරනවාද කියලා තීරණය කරන්නේ අධිකරණයෙන්. ඒක අපේ වැඩක් නොවෙයි. මේ ක්‍රියාවලිය දේශපාලන පළි ගැනීම් බව කියන්නේ අධිකරණයට යන්නේ නැතිව වෙන වෙන තැන්වලදී මගදී නඩු අහපු අය. ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ඒ ගොල්ලන් නඩුව ඇහුවේ මහපාරේ මරා දැමීමෙන්. ලසන්තගේ පන්තරයේ ලිපි කිහිපයක් ලිව්වා කියලා මරා දැම්මා. මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදහස් කර, තාමත් සොයා ගන්න බැහැ. ඒ සම්බන්ධයෙන් නඩුවක් එක දිගට විභාග වෙමින් තිබෙනවා. මාධ්‍යවේදී කිත් නොයාර්ට පහර දුන්නා වගේම මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. සිරසට, සියතට ගැහුවා, ගිනි තිබ්බා. ඒ ගොල්ලන් නඩු ඇහුවේ බෝම්බ ගහලා ගිනි තියලයි. මහ මඟ මරා දැමීමෙනුයි. පැහැරගෙන යාමෙනුයි. ඒ මහත්වරු අපට ප්රජාතන්ත්රවාදය සහ මර්දනය ගැන උගන්වන්න හදනවා. ගණන් නොගත යුතු වුණත් දැනුත් කියන්නේ “අපි බලයට ආවාම බලා ගමු” කියලයි. බලයට එන්න බැරි නිසා දිගටම එහෙම කියන්නයි වෙන්නේ. ඒගොල්ලෝ බලයේ ඉන්න කාලෙත් අපි බලා ගත්තා. පොහොට්ටුවේ ලේකම්වරයා පොලිස්පතිතුමාට තර්ජනය කළ හැටි අපි දැක්කා. “මහපාරේ ගුටි කාලා මැරෙන්න වෙයි” කියලා ප්‍රසිද්ධියේ කීමෙන්.
අපි මේවා කියන්නේ ඒ ගොල්ලන්ට උත්තර දෙන්න නොවයි. ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කිසිම සංවිධානයක් අපේ ආණ්ඩුවට නම් අභියෝගයක් නොවෙයි. අපේ රටේ තිබුණු විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමේ ඉතිහාසය අහෝසි කළේ කවුද? ඒ නතර කළේ වෙන කවුරුත් නොවෙයි, මාලිමාවේ ආණ්ඩුවෙන් බව අපි ආඩම්බරයෙන් කියන්න ඕනෑ. මර්දනයට ලක්වෙලා, බැට කාලා, පෙරුම් පුරලා, අමාරුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ රතිඤ්ඤා කරලක්වත් පත්තු නොකර ජග්‍රහණය සැමරූ ගෞරවය තිබෙන්නේ මේ රටේ ජනතාවට. ලොකු ඡන්ද නොවෙයි, සමුපකාර ඡන්දයක් දිනුවත් රතිඤ්ඤා පත්තු කරනවා. අපේ ආණ්ඩුව යටතේ පැවැත්වූ මහා මැතිවරණයේදී කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් මිනිස් ඝාතනයක් නැතිව ආදර්ශමත් මැතිවරණයක් පැවැත් වූවා. පළාත් පාලන මැතිවරණයත් එහෙමයි. ඉස්සර ජනතාවට පෙළපාළියක් යන්න උද්ඝෝෂණයක් පවත්වන්න නොදී ගැහුවා. මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා, ගෝඨාභය රාජපක්ෂලා එහෙමයි කළේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පළාත් පාලන මැතිවරණය කල්දැම්ම අවස්ථාවේ අපි සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූවාම එයට පහර දීලා අපේ සහෝදරයෙකුගේ ජීවිතය පැහැර ගත්තා. දැන් කට්ටිය නැති වුණත් කොච්චර උද්ඝෝෂණ කරනවාද? හතර පස් දෙනෙක් දහයක් දොළහක් ඇවිත් කෑ ගහලා යනවා. ඉතිං අපට මොකෝ? ඒ තමයි රටේ අලුත් දේශපාලන සංස්කෘතිය.
විවේචනය කරනවා විතරක් නොවෙයි, අපහාසත් කරනවා. පසුවදා සුදු වෑන් එකක් ඇවිත් කවුරුවත් උස්සාගෙන යන්නේ නැහැ. ස්ත්‍රීත්වය පාවිච්චි කරලා, අගමැතිනි හරිනි සහෝදරියට කොච්චර අපහාස කරනවාද? අත්‍යවශ්‍ය වුණොත් පැමිණිල්ලක් කරනවා හැර, අපි ඒ කිසිවක් ගණන් ගන්නේ නැතිව ඉන්නවා. අපේ නිලන්ති සහෝදරියට කොතරම් අපහාස කළාද? එහෙම තිබියදී මර්දනකාරී ආණ්ඩුවක් බවට ප්රජාතන්ත්රවාදය නැති බවට, විරුද්ධවාදීන්ට හිරිහැර කරන බවට මතයක් හදන්න උත්සාහ කරනවා. අපි කිසිවෙකුට හිරිහැර කරලා නැහැ. හැබැයි මහත්තයෝ හොරකම් කරලා තිබුණොත් හිරේ යන්න නම් වෙනවා. ඒකට අපට කරන්න දෙයක් නෑ. ජනතාව අපට බලය දුන්නේ රට හදන්න වගේම රටේ තිබුණු කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. වංචා, දූෂණ නවත්වලා වංචා දූෂණ කළ අයට නීතියෙන් දඬුවම් කරන්නයි, ජනතාව අපට බලය දුන්නේ. අපේ රටේ මීට පස්සේ නීතියට උඩින් කවුරුත් නැහැ. රෝහණ සහෝදරයා නිතර කීවේ අපේ රටේ ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ මකුළු දැළක් වගේ, පොඩි සත්තු පැටලෙන්නත්, ලොකු සත්තුන්ට කඩා ගෙන යා හැකි ආකාරයට බවයි. දැන් එහෙම නොවෙයි. නීතිය ශක්තිමත් කර තිබෙනවා. පොඩි සත්තු විතරක් නොවෙයි, ලොකු සත්තුත් අහුවෙනවා. නීතිය සැමට එකයි කියන දේ අපි භාවිතාවෙන්ම මේ අවුරුදු දෙක තුළ ඔප්පු කර තිබෙනවා. ඒ නිසයි, හිටපු ජනාධිපති, හිටපු ඇමති, පුතා කාගේද, කියලා ප්‍රශ්නයක් නැතිව හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. වංචා, දූෂණ නවත්වන්න නම්, නීතිය ඉහළ සිට පහළටම ක්‍රියාත්මක වන බව තහවුරු කරන්නත් ඕනෑ. ජනතාව අපට ලබා දුන් ජනවරමට අනුව ගෙවී ගිය අවුරුදු දෙක තුළ වෙහෙස මහන්සි වී වැඩකර තිබෙනවා.
ජනතාව අපට ලබාදුන් වරමේ බර අපි දන්නවා. ඊට වගකියන්න, ඔබේ අභිලාෂයන් ඉටුකරන්න, ඔබේ ඡන්දයට වටිනාමකම් අත්කර දෙන්න කාලයක් තිස්සේ අපි හැමදෙනාම මහන්සි වුණා. තමන්ට කිසිවක් එකතු කරගෙන නොවෙයි, තව යන්න දුර ගමනක් තිබෙනවා. අපට බාධක ගොඩක් තිබෙනවා. ස්වභාවික ප්‍රශ්නත් එනවා. අපි හැමෝම දන්නවා දිට්වා ව්‍යසනය සිදුවුණු ආකාරය. අපි හොමෝම හොඳින්ම ඒකට මුහුණ දුන්නා. මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදය සම්බන්ධ වුණු යුද්ධය අපට දැනෙන්නෙ නැති වුණාට, විශාල ආර්ථික බලපෑමක් තිබෙනවා. ජනතාවට ඒ බව නොදැනෙන ආකාරයට අපි කටයුතු කරමින් සිටිනවා. වෙන ආණ්ඩුවක් තිබුණා නම් යුද්ධය අස්සේ සුද්දයක් දීලා, තෙල්, ගෑස් පෝලිම් ඇති වී අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හිඟ වෙනවා. යුද්ධය පටන් ගැනීමත් එක්ක විපක්ෂය එහෙම හීන දැක්කා. යුද්ධය නිසා වැඩි වුණු තෙල් මිල දැන් ටික ටික අඩුකරමින් යනවා. ගෑස් මිලත් එහෙමයි. නැව් ගාස්තු ඉතා ඉහළ මට්ටමින් වැඩිවී තිබුණත් ඒ තත්වයත් කළමනාකරණය කරගනිමින් යුද්ධය සහ දිට්වා බලපෑම් දෙකම තිබුණත් ඒ බර ජනතාවට පටවා නැහැ. එහෙම ආණ්ඩුවක් තමයි අපි පිහිටුවා තිබෙන්නේ. අපේ රටේ ජනතාවත් හිතන – මතන විදිහ වෙනස් කර තිබුණත් විපක්ෂයේ කණ්ඩායම් කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නෑ. විපක්ෂය වැරදි කරන තරමට අපට හොඳයි. ඒ ගොල්ලන් ඒ පාරෙම ඔහොම ගියාවේ.
අපට පරණ පුරුදුවල බලයේ බාධාවන් තිබෙනවා. ස්වභාවික උවදුරුවල බාධාවන් තිබෙනවා. සමහර යාන්ත්‍රණවල තිබෙන ගැටලු බාධාවන් කරනවා. සමහර තැන්වල සහ බිම් මට්ටමේ තිබෙන එම බාධාවන් විසඳන්න පටන්ගෙන තිබෙන්නේ. අපි ප්‍රවේශමෙන් සැලැස්මකට අනුව ස්ථාවරව ප්‍රශ්න විසඳමින් යනවා. වෙන ආණ්ඩුවකට රැස්වීමක් තිබුණා නම්, ප්‍රභූත්වයේ හැටි බලන්න තිබුණා. රට හදන එක ඔබ අපි කාගේත් වගකීමක්. ඡන්දය දී ආණ්ඩුවක් බාර දුන්නා කියලා පැත්තකට වෙන එක නොවෙයි, රට හදන්න අවශ්‍ය දායකත්වය ලබා දෙමින් ඉස්සරහට යන්න අධිෂ්ඨානය අපි හැමෝටම තිබෙන්න ඕනෑ. ජනතාවගේ ආණ්ඩුව රකින එක වගේම රට ඉදිරියට ගෙනයාමේ වගකීමත් අපි හැමෝටම තිබෙනවා. ඉස්සර අපට තිබුණේ පක්ෂය ගොඩනැගීමේ වගකීමයි. බලය ගැනීම සඳහා භඡඡ එක හැදුවා වගේම අපි හැමදෙනාම මහන්සි වී රට හදන්නත් ඕනෑ. රට හදන එක ආණ්ඩුවට විතරක් අයිති වැඩක් නොවෙයි. මුළු රටේම ජනතාවගේ වැඩක්. විශේෂයෙන්ම මාලිමාවට ඡන්දය දුන් ජනතාවගේ වැඩක්. “ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” සාර්ථක කර ගන්න නම්, ජනතාවගේ දායකත්වය සහ කැපවීම අවශ්‍යයි. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පොදු ජනතාවගේ වැඩක්. එහි කොටසක් ඇත ඔබටත්. ගම් මට්ටමේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය ප්‍රජා ශක්ති සංවිධානයට ලබාදී තිබෙනවා. ගම හදා ගැනීමේ තීන්දු ගන්නේ එතැනින්. එවැනි අවබෝධයක් සහිතව අපි හැමෝම ව්‍යාපෘති සාර්ථක කර ගන්න ක්‍රියා කරන්න ඕනෑ. මාලිමාවේ ආණ්ඩුව හදා ගත්තේ කිසිකෙනෙකුට පුද්ගලික අපේක්ෂාවෙන් නොවෙයි. ඔබත් මේ ආණ්ඩුව හදන්න දායක වුණේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දායක වෙන්නයි.

හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන එක කාටත් කරන්න පුළුවන් වැඩක්. නමුත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන එක කළ හැක්කේ ධෛර්යය සම්පන්න මිනිසුන්ට. නරක ආණ්ඩුවක් තිබුණේ. ඒ වෙනුවට හොඳ ආණ්ඩුවක් හදන එක අපි කරලා තිබෙන්නේ. නරක තත්වයට ඇද දමා තිබූ රටක් හොඳ රටක් බවට පත්කරන්න අපේ දායකත්වය ලබා දෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථිකයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, මානවහිමිකම් වශයෙන් පොහොසත් රටක් ගොඩනඟන්න අපි හැමෝම දායක වෙන්න ඕනෑ. මැතිවරණවලට ඉස්සර විපක්ෂයේ කට්ටිය කීවේ මාලිමාවට ජාත්‍යන්තර සබඳකම් නෑ කියලා. නමුත් හොඳම ජාත්‍යන්තර සබඳකම් පවත්වන ආණ්ඩුව බවට මාලිමාවේ ආණ්ඩුව මේ වන විටත් පත්කර අවසන්. දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්කර ගන්න අපට හැකිවී තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානයක් කළ සමීක්ෂණයකින් මේ බව තහවුරුවී තිබෙනවා. නේපාලයේ සිදුවුණු මහා විපත වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දෙන්න ආණ්ඩුව තීරණය කළා. විපක්ෂය ඒකටත් කෑ ගහන්න පටන් ගත්තා. දිට්වා ව්‍යසනය වූ අවස්ථාවේ ලෝකයේ හැම රටක්ම අපට උදව් කළා. ඒ වගේ අපිත් නේපාලයට හැකි ආකාරයෙන් උදව් කරන්න ගියාම කෑ ගහන විපක්ෂයක් තිබෙන්නේ. ගෙවී ගිය අවුරුදු දෙක තුළ විරුද්ධවාදීන්ගේ සියලු බලාපොරොත්තු කඩකිරීමට ආණ්ඩුවට හැකිවී ඇති බව එයින් පැහැදිලි වෙනවා. මාස හයෙන් අවුරුද්දෙන් ආණ්ඩුව වැටෙන බවට අනාවැකි කී අයගේ සියලු බලාපොරොත්තු සුන් වෙලා. ඒ නිසා මේ ආණ්ඩුව “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම දක්වා විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් ඉදිරියට යන්න ඕනෑ.
ඒ වගේම ජාතික සමගිය ගොඩනඟමින් සිංහල, දෙමළ, මුස්ලිම්,හැමෝගෙම ආණ්ඩුව බවට මාලිමා ආණ්ඩුව බවට පත්වී ඉදිරියට යමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනඟමින් සිටිනවා. ඉස්සර බේරුවල ජනතාව බයකරගෙන සිටි දේශපාලන චණ්ඩින් අද නැහැ. රටේ කිසිම තැනක ඒ වගේ දේශපාලන චණ්ඩින් නැහැ. භේද නැති ආණ්ඩුවක් නිර්මාණය කර, අවුරුදු දෙකක් ආවා වගේම තව විශාල දුරක් ඉදිරියට යන්න තිබෙනවා. මේ කාලය තුළ අත්පත් කර ගත්ත ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් අත්පත් කර ගත යුතු ජයග්‍රහණ වෙනුවෙන් අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඡන්දයට පෙර වගේම සියලු බලවේග ඒකරාශී කර ගන්න ඕනෑ. මාලිමාවට ඡන්දය දුන්න සියල්ලන්ටම සතුටු වෙන්න ආණ්ඩුවක් නිර්මාණය කර, ඒ සතුට ඉදිරි ජයග්‍රහණ දක්වාත් ගෙන යන්න හැකි ජාතිවාදය, ආගම්වාදය නැති ඉදිරි ගමනක් අපට තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කර ඒ ප්රතිලාභ ජනතාවට ලබා දෙමින් තිබෙනවා. වැටුප් වැඩි කර තිබෙනවා. ලෝකය ඉදිරියේ ලංකාවට ගෞරවයක් ලබාදී තිබෙනවා. ඒ නිසා ජනතාව ලබාදුන් ඡන්දයට ගෞරවයක් සහ වටිනාකමක් ලබා දෙමින් ඉදිරියට යන මාලිමා ආණ්ඩුව අවසන් ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යමින් සතුරන් පරදා ඒ ජයග්‍රහණය තහවුරු කර ගැනීම දක්වා අපි සියලුම දෙනා එකාවන්ව ඉදිරියටම යන අධිෂ්ඨානය නොඅඩුව රැස්කර ගනිමු.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

