‘අඳ වාදකයා’ – විශ්ව නාදාවලියෙන් ඔබේ හදේ අව්‍යාජ නාදය සොයා ගත්තා ද?
(මිතුනි යසාරා)
දහනව වැනි සියවස අවසානයේ සහ විසි වැනි සියවස මුල් භාගයේදී සාහිත්‍යය අවදි කරීම උදෙසා සම්භාවනීය නියෝජනයක් කළ ‘ව්ලදිමීර් ගලක්තියෝනොවිව් කරලෙන්කෝ’ තෝල්ස්තෝයි සහ චෙකොව්ගේ සමකාලීනයෙකි. එලෙසම ඔහු මක්සිම් ගෝර්කිගේ පළමු වැනි ගුරුවරයාද විය. කරලෙන්කෝගේ සාහිත්‍ය කෘති අතරෙන් අතිශයින්ම ප්‍රසිද්ධියට පත් ‘අඳ වාදකයා’ ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් ගතවිය. මනෝ විද්‍යාත්මක කරුණු රාශියකින් සුපෝෂිතව සංස්කරණ රාශියක් සමගින් එළි දැකි මෙම නවකතාව කරලෙන්කෝගේ පෞද්ගලික නිරීක්ෂණයේ ප්රතිඵලයකි.
“මේ නවකතාව ලිවීමට මට වස්තු බීජ වූයේ දෙනෙත් අඳව මෙලොව උපන් දැරියකි. ඇය ළමා වියේ සිටම මම දැන සිටියෙමි. කෙමෙන් නෙත් අඳ වූ මගේ සිසුවෙකුද මම නිරීක්ෂණය කළෙමි. වෘත්තියෙන් සංගීත වාදකයෙකු වූ මුහුකුරා වැඩුණු සහ අධ්‍යාපනයක් ලැබුණු වැඩිහිටි අන්ධයකුද මගේ නිරීක්ෂණයට හසුවිය.”

කරලෙන්කෝ අඳ වාදකයා හට පසුබිම සැකසුණු ආකාරය විස්තර කරනුයේ එලෙසය.
‘The Blind Musician’ නම් වූ මෙම සංවේදී සහ දාර්ශනික නවකතාව සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ පරිවර්තක ‘දැදිගම වී රුද්‍රිගු’ මහතාය.
දෘශ්‍යාබාධිත සංගීතඥයෙකුගේ ජීවන අන්දරය ඔහුගේ අභ්‍යන්තරික සංවේදනා රටා මතින් විවීම අඳ වාදකයා හට තේමා වී ඇත. එහිදී සංගීතය සහ මානුෂීය සබඳතා යනු ගසට පොත්ත සේ බැඳී එන අපූර්ව ක්‍රියාවලියක් වග කතුවරයා හෙළි කරයි.
මෙහි ප්‍රධාන චරිතය උසුළන ප්යොතර් අපට කියාපන්නේ මුළු මහත් විශ්වයම එකම නාදාවලියක් බවත් ඒ අතරින් අප සොයාගැනීමට වෙහෙසිය යුත්තේ අප හදේ අව්‍යාජ නාදයත් බවය.
එහිදී ධනවත් පවුලකට දාව ඉපදුණද උපතින්ම අන්ධභාවයෙන් පෙළෙන ප්යොතර්ගේ අන්ධකාර ලෝකය තුළ මතුව එන මානව මනෝභාවයන් සියුම් ලෙස විග්රහ කරන්නට තරම් කතුවරයා සමත්ව ඇත. ඔහුගේ අභ්‍යන්තර මානසික අරගලය, ක්‍රෝධය, පසුතැවීම මෙන් ම අනපේක්ෂිත මොහොතකදී ලබන අධ්‍යාත්මික පිබිදීම අඳ වාදකයා තුළ අපූර්ව ලෙස විසරණය වී ඇත. නෙත්වලින් කිසිදා ලොව දැකිය නොහැක්කෙකු හට සංගීතමය හදවතින් එහි සුන්දරත්වය දකින්නට හැකි වග අපූර්වත්වයෙන් යුක්තව කරලෙන්කෝ අපට පෙන්වා ඇත. ශබ්ද, ස්පර්ශ සහ සුළඟේ එතෙන නාදරටා ඇසුරින් ශ්‍රව්‍ය ගෝචර රූපක භාවිතයෙන් අඳ දරුවකුගේ මනෝභාවයන් මෙහි විකසිත වී ඇත. ඉන්ද නොනැවතී ආබාධිත දරුවකුගේ ආගමනය ළතෙත් හදකින් ඉවසා වදාරන මවකගේ ස්නේහාන්විත අන්දරය අඳ වාදකයා තුළ දිවෙන්නේය. එය මව්වත් ප්‍රේමයට පමණක් නොව රූපයට ප්‍රේම නොකරන හදවත් අව්‍යාජත්වය විමසන තාරුණ්‍යයේ ප්‍රේමය තුළින්ද කතුවරයා පුළුල් විග්රහයකට බඳුන් කොට ඇත.

අඳ වාදකයාහි අපට හමුවන ප්‍රසන්නම චරිතය ‘මක්සීම්’ ය. අතීත යුද සෙබළෙකු ලෙස සමාජයේ සැරිසැරුවද ප්යතොර්ගේ අධ්‍යාත්මය අවදි කරන ගුරුවරයා ඔහුය.
මෙහි සන්ධිස්ථානයන් කීපයකි. එකී සන්ධිස්ථානයන් කතුහලයෙන් යුක්තව පාඨකයා ප්රහර්ෂයට පත් කර ඇත. එනිසාම අඳ වාදකයා ප්‍රීතියේ නවකතාවක් ලෙස ද හැඳින්වේ.
චංචල වන මිනිස් හද අභ්‍යන්තරයෙහි ගලනය වන සන්තුෂ්ටියේ මිහිර වඩවන්නට මෙන්ම වේදනාවෙහි කඳුළැලි පිසින්නට සංගීතයට ඇති හැකියාව අපූර්වය. එයට අත්වැල් සපයනුයේ වාදනයයි. ආබාධිත අයෙකුට පවා ජීවිතය ජයගන්නට මග කියන සංගීතයේ රහස් භාෂාව කරලෙන්කෝ මෙහිදී විවරණය කරයි.
වේගවත් සිදුවීම් මාලාවක් අපේක්ෂා කරන පාඨකයකු හට අඳ වාදකයා කතා ගලනය තරමක් මන්දගාමී ලෙස දැනීමට ඉඩ ඇත. ඒ මෙහි ප්යොතර්ගේ චින්තනය, පරිසර වර්ණනා සහ සංගීතයේ අභ්‍යන්තර ප්‍රතිරූපය විවරණයට කතුවරයා වැඩි ඉඩහසරක් ලබා දී ඇති නිසාය. එලෙසම අඳ වාදකයාහි චරිත වර්ධනය සීමිත පරාසයක පවතී. උදාහරණයක් ලෙස ප්යොතර්ගේ මව සහ පෙම්වතිය ප්‍රධාන චරිතයට පසුබිම් ලෙස ගොඩනගා ඇති අතර ඔවුනගේ මනෝභාවයන් පිළිබඳව ප්‍රධාන චරිතය අබිබවා නොයන ලෙසින් වන විග්‍රහයක් නොමැත.
අඳ වාදකයා පරිවර්තන කාර්යභාරය පිළිබඳ විමසීමේදී දැදිගම වී. රුද්‍රිගු මහතාගේ ආවේණික සුමට සහ සුගම භාෂා ශෛලිය නිසා මෙය පරිවර්තනයක් නොවන තරම් ස්වභාවිකත්වයකින් රසවිඳිය හැකිය. රුසියානු ගැමි සංස්කෘතියේ සහ පරිසරයේ අනන්‍යතාව එලෙසින් ම සිංහල පාඨකයා හට සමීප කිරීමට ඔහු උත්සුක වී ඇත.
අඳ වාදකයා යනු ශාරීරික අඩුපාඩු හමුවේ වුවද අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණදීම කියාපාන අභිප්‍රේරණාත්මක නවකතාවකි. එය මානව හද අභ්‍යන්තරයේ පවතින නොපසුබට වීර්යයේ ප්‍රහර්ෂය කියාපායි.
නවකතාවේ වීරයා වනුයේ ප්යොතර්ද, එවෙලීනාද නැතහොත් මක්සීම්ද යන්න අඳ වාදකයා හමුවන සැම විමසන පැනයක් බව කතුවරයා කියා පා ඇත. එයට පිළිතුර ඔහු කතාව අවසානයේදී ලැබ දී ඇත.
“ඔහු ලෝකය දැක තිබෙනවා. ඔහුට ඔහුගේ අම්මාව මතකයි. නුඹට තේරුණාද? රෑට නිදාගනිත්ම ඔහුට අම්මාව හීනෙන් පේනවා. ඈ දැන් මහලුයි. නමුත් ඔහුට පෙනෙන්නේ ඈ ඔහු කුඩා කල දැකපු තරුණ අම්මාගේ රූපයයි. නුඹට හීන පෙනෙනවාද?”

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

