Latestදේශීය

සමාජ රැකවරණයේ දස අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම

සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ (2026–2035 ) දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි තාක්ෂණික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය හා උපායමාර්ගයට අනුකූලව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහයෝගය යටතේ මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය එක්ව සකස් කළ මෙම සැලැස්ම මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අවසන් අදියරට පැමිණ ඇත.

මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ නිවෙස් තුළ සිදු කෙරෙන වැටුප් නොලබන සත්කාර සේවා හඳුනාගෙන එම කාර්යයන් විධිමත් ආර්ථික ක්ෂේත්‍රයක් බවට පත් කිරීමයි.

එමෙන්ම, සත්කාර සේවකයන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකකරණය සහ දායකත්ව සමාජ ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට ද සැලැස්ම මඟින් අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වන 18%ක් සහ දැඩි ආබාධිත තත්ත්වයන් සහිත 3.7%ක පිරිස සඳහා අවශ්‍ය විශේෂිත සත්කාර සේවා තහවුරු කිරීම ද මෙහි තවත් අරමුණක් වේ.

එසේම සත්කාරක කටයුතුවල බර අවම කර බෙදාහදා ගැනීම තුළින් දැනට 32.3%ක් පමණ වන කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා අවශ්‍ය සහායක රාමුවක් ස්ථාපිත කිරීමට ද ක්‍රියාකාරී සැලැස්ම මඟින් අපේක්ෂා කෙරේ.

මෙම හමුවේදී ක්‍රියාකාරී සැලැස්මට අදාළ තාක්ෂණික ඉදිරිපත් කිරීම් මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාව නියෝජනය කරමින් සිදු කෙරිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *