Latestදේශීය

ඩිජිටල්කරණයට සියලු ආයතන යොමු විය යුතුයි – විජිත හේරත්

රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීමට යොමු විය යුතු බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  , අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රජයක් ලෙස රාජ්‍ය ආයතන ඩිජිටල් ක්‍රමවේදයට අනුව නවීකරණය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවා සැලසීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

ඩිජිටල්කරණය එක් අමාත්‍යාංශයකට පමණක් සීමා නොවන අතර, අනෙකුත් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන තුළ ද ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දෙමින් සේවා කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද හෙතෙම සඳහන් කළේය.

ඩිජිටල් ක්‍රමවේද හඳුන්වාදීම තුළින් ගෙවීම් ඇතුළු විවිධ සේවා පහසු වී ඇති අතර, ලේඛන හා පිටපත් ලබාගැනීම වැනි කටයුතු ද කඩිනම් කරගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, විවිධ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා, නාස්තිකාර වියදම්, දූෂණ හා වංචා සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවත්, ඉදිරියේදී ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවන් සඳහා ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වාදීමට ද කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, නව ලෝකය සමඟ ඉදිරියට යාම සඳහා ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ අධ්‍යාපනය අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා දරුවන් සූදානම් කිරීම රජයේ අරමුණක් බවද වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *