Latestදේශීය

ලෝක අලි දිනය අදයි

පරිසර පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන අලි ඇතුන් වෙනුවෙන් නම් කර ඇති ලෝක අලි දිනය අදට (12) යෙදී තිබේ.

අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබාදීම සහ මෙරට වන අලි සම්පත සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින්, නව රජයේ පරිසර ප්‍රතිපත්තිය වන “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යටතේ ජාතික සංරක්ෂණ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

දීර්ඝ කාලයක සිට මෙරට ග්‍රාමීය ජනතාව මුහුණදෙන අලි-මිනිස් ගැටුම විවිධ අවිධිමත් සංවර්ධන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් තවදුරටත් වර්ධනය වී ඇති අතර, එයට ප්‍රායෝගික හා තිරසර විසඳුම් ලබාදීම පරිසර අමාත්‍යාංශය හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

කෙටිකාලීන පියවර යටතේ පවතින විදුලි වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම, පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණය හඳුන්වාදීම සහ වනජීවී නිලධාරීන්ගේ පැය 24 පුරා ජංගම මුර සංචාර ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 5,000ක් ඇතුළු සහායක පිරිස් යොදා ගනිමින් අවශ්‍ය මානව හා භෞතික සම්පත් ශක්තිමත් කිරීමටද පියවර ගෙන ඇත.

රෝගී වන අලින් සඳහා ජංගම රෝහල් සේවාවක් ආරම්භ කිරීම ඇතුළු අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීමටද අවධානය යොමු කර තිබේ.

මධ්‍යකාලීන සැලසුම් යටතේ ගම්මාන ආශ්‍රිතව විදුලි වැටවල් ඉදිකිරීම සහ වන අලි හානි සඳහා ලබාදෙන වන්දි ක්‍රමවේදය වඩාත් සාධාරණ ලෙස සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

දිගුකාලීන විසඳුම් ලෙස ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීම, මානව ජනාවාස හා වනජීවී කලාප සඳහා විද්‍යාත්මක පදනමකින් මායිම් සලකුණු කිරීම සහ සියලුම අලිමංකඩ නීත්‍යානුකූලව ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වනවිට ප්‍රධාන අලිමංකඩ තුනක් නිදහස් කර ඇති අතර, හම්බන්තොට වැටහිරකන්ද හා හදපානාගල අලිමංකඩ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කොහොලංකල අලිමංකඩ ඒ අතර වේ.

නවීන තාක්ෂණය භාවිත කරමින් වන අලි ගහනය සහ ඔවුන්ගේ සංචරණ රටා නිරීක්ෂණය කිරීමටද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

වන අලින්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වැව් තාවුල්වල පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, රක්ෂිත තුළ වැව් පුනරුත්ථාපනය කිරීම සහ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වැව් තාවුල් පෝෂණය කිරීමේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කර ඇත.

වන අලින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති අතර, වනජීවීන්ට සහ වනාන්තරවලට සිදුවන හානි පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1995 කෙටි දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

මේ අතර, දුම්රියේ ගැටීමෙන් වන අලින් මියයාම වැළැක්වීම සඳහාද පියවර රැසක් ගෙන ඇත. පාර්ලිමේන්තු විශේෂ කමිටුවක නිර්දේශ මත ගල්ඔය–ත්‍රිකුණාමලය, ගල්ඔය–මඩකලපුව, උතුරු සහ මන්නාරම දුම්රිය මාර්ග දෙපස ඡායාරූප සහිත සංඥා පුවරු 147ක් සවි කර තිබේ.

ආතර් සී. ක්ලාක් ආයතනය හඳුන්වා දුන් තාප සංවේදී කැමරා පද්ධති දුම්රියවල සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇති අතර, දුම්රිය රියදුරන් දැනුවත් කිරීම සහ වන අලි ගැවසෙන වේලාවන්ට අනුව ඇතැම් දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ.

තවද, හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය, සුභසාධනය සහ සංස්කෘතික කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධ රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කර ඇත.

වන අලි සම්පත ආරක්ෂා කිරීම මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහජනතාව, සිවිල් සංවිධාන, පරිසර ක්‍රියාකාරීන් සහ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව රජය අවධාරණය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *