Latestදේශීය

චීනය මෙන් අපි ජයග්‍රහණ අත්කරගත යුතුයි – ජනපති නොච්චියාගමදී කියයි

චීනය මේ සා විශාල ජයග්‍රහණයක් සිදුකරනු ලැබුවේ පරම්පරා ගණනාවක් කළ කැපකිරීම් නිසා බව චීන ජනාධිපතිවරයා තමන් සමග පැවසූ බවත්, චීනය මෙන් ජයග්‍රහණයන් අත්කර ගැනීමට නම් අප අනාගත පරම්පරාවන් වෙනුවෙන් කැපකිරීම් කිරීමට ධෛර්යවන්ත විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් ඵලකළේ ඊයේ (13) නොච්චියාගම පැවති ජන රැලිය අමතමින්‍. එම ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කළ කතාව,

දීර්ඝ කාලීන නියඟයකට පස්සේ තමයි අද මේ ප්‍රදේශයට මෙච්චර හොඳ වර්ෂාවක් ලැබිලා තියෙන්නේ. අපේ අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මේ වැස්ස පවා නොතකා, දහස් ගණනින් මෙතැනට එකතු වෙලා ඉන්නේ අපේ ආණ්ඩුව ආරක්ෂා කරන්නත්, මේ රට ගොඩනඟන්න තියෙන උවමනාව පෙන්නුම් කරමින්. ඒ වෙනුවෙන් ඔබ සියලුදෙනාට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මෙතරම් ධෛර්යසම්පන්න ජනතාවක් සහ දේශපාලන ව්‍යාපාරයක් තියෙන තාක් කල්, මේ ආණ්ඩුව වට්ටන්න කිසිවෙකුටවත් බැහැ. ඒක හොල්ලන්නවත් පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ.

මීට අවුරුදු දෙකකට විතර කලින් මේ රටේ ජනතාව එකතු වෙලා මේ ආණ්ඩුව හැදුවා. මම දන්නවා මේ ආණ්ඩුව හදන්න අපේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා ලොකු වෙහෙසක් දැරුවා. අවුරුදු ගණනාවක් තිස්සේ ගෙවල්වලට ගිහින්, කතා කරලා, රැස්වීම් තියලා තමයි අපි මේ ගමන ආවේ. අපි හැමදෙනාම ගම්මාන ඇතුළට ගිහින් ජනතාව දැනුවත් කළා. රටේ වෙන විපත්තිය, නාස්තිය තේරුම් කරලා දීලා, ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕන කියන පණිවිඩය අරන් ගියා.

අන්න ඒ පණිවිඩයට සවන් දීලා, 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ රටේ තීරණාත්මක මැතිවරණයෙන් මේ රටේ දුක් විඳින මිනිසුන්ගේ ආණ්ඩුවක්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න මුල් පියවර තිබ්බා.

අද අපි මෙතැනට ආවේ ආණ්ඩුව රකින්න කියලා ඉල්ලන්න නෙවෙයි. එහෙම ඉල්ලන්න ඕනද? නැහැ! මේ ආණ්ඩුව වට්ටන්න කිසිම ජගතෙක් අද ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නැහැ. එහෙනම් අපි ආවේ මොකටද? අපි ආවේ එක දෙයක් කියන්න.

මම චීනයේ සංචාරය කරපු වෙලාවක, චීන ජනාධිපතිතුමාගෙන් ඇහුවා, “චීනය මේ තරම් විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට තියෙන රහස මොකක්ද?” කියලා. එතුමා මට දුන්නේ හරි අපූරු පිළිතුරක්. එතුමා කිව්වා, “චීනයේ පරම්පරා ගණනාවක් කරපු කැපකිරීම්වල ප්‍රතිඵල නිසයි අද චීනය මෙතැන ඉන්නේ” කියලා. ඒ කියන්නේ මොකක්ද? රටක් හදන්න, රටක් ගොඩනඟන්න යම් පරම්පරාවක් කැපවෙන්න ඕනා.

දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත්කරලා තියෙනවා නම්, අඩියටම තල්ලු කරලා තියෙනවා නම්, රට ගොඩනඟන්න වර්තමාන පරම්පරාවේ අපි සියලු දෙනාම වෙහෙස මහන්සි වෙන්න ඕනා. අනාගතයේ කවදාහරි අපේ දරුවන්ට කියන්න පුළුවන් වෙන්න ඕනා, “මේ කාලේ හිටපු මිනිස්සු මහන්සි වෙලා තමයි මේ රට හැදුවේ” කියලා. අද චීන නායකයන්ට කියන්න පුළුවන්කම තියෙනවා, තමන්ගේ රටේ ජයග්‍රහණය පිටුපස පෙර පරම්පරාවල කැපකිරීම් තියෙනවා කියලා.

අද අපිට ආණ්ඩුවක් තියෙනවා. විධායක ජනාධිපතිධුරය, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, නගර සභා, දිසාපතිතුමාගේ ඉඳන් ග්‍රාම සේවක මහත්තයා දක්වා ආණ්ඩුව කියන පැත්ත තියෙනවා. හැබැයි ආණ්ඩුවකට විතරක් රටක් හදන්න බැහැ. රටක් හදන්න නම් වර්තමාන ජනතාව යම් කැපකිරීමක් සහ පරිත්‍යාගයක් සහිතව ඉදිරියට එන්න ඕනා. ඒ සඳහා අවශ්‍ය ජනතා ව්‍යාපාරය තමයි අපි මේ ගොඩනඟන්නේ.

අපි අපේ අතීත පරම්පරාවන් විඳපු දුක්ගැහැට ඇසින් දැකලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා, අපේ දරුවෝ විඳපු දුක අපි දන්නවා. ඒ දුක්ඛිත තත්ත්වයෙන් ජනතාව මුදවාගෙන, හොඳ ජීවිතයක් උරුම කර දීම වෙනුවෙන් තමයි මේ ජනතාව එකතු වෙලා ආණ්ඩුවක් හැදුවේ. ආණ්ඩුවක් විදිහට අපි සියලු කැපකිරීම් කරමින්, වෙහෙස මහන්සි නොබලා රට ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ හා සමානවම ජනතාවටත් වගකීමක් තියෙනවා අපේ රට ගොඩනඟන්න එකතු වෙන්න. ආණ්ඩුවයි ජනතාවයි එකතු වුණොත් විතරයි මේ රට හදන්න පුළුවන්.

අපිට තියෙන පළමු කාර්යය තමයි යහපත් සමාජයක් නිර්මාණය කිරීම. අපිට සභ්‍යත්වයක් සහිත සමාජයක් තිබුණත්, අද වෙනකොට ඒ සමාජය බිඳවැටිලා. දෙමාපියන් සහ දරුවන් අතර, පන්සල සහ දායක සභාව අතර, ගුරුවරුන් සහ ළමුන් අතර සබඳතාවයන් බිඳවැටිලා. සමාජය යම් ප්‍රමාණයකට සභ්‍යත්වයෙන් තොර තැනකට වැටිලා.රටක් ගොඩනඟන්න නම් සමාජය යහපත් සමාජයක් බවට පරිවර්තනය වෙන්න ඕනා. යහපත් සමාජයක් කියන්නේ අනෙකාගේ දුකේදී කම්පනය වන, සමාජය ගැන වගකීමක් දැනෙන, හැමෝම තමන්ගේ කොටස ඉටුකරන සමාජයකටයි. 2024 සැප්තැම්බර් 21 වෙනිදා අපේ රටේ ජනතාව තැබූ ඒ පියවරෙන් අපි දැන් ඉදිරියට යන්න ඕනා.

අතීතයේ අපේ ගම්වල නරක ආදර්ශ තිබුණේ නැහැ. ගමේ හොරෙක්, වංචනිකයෙක් හිටියොත් ගමම ඔහුට සැලකුවේ කොහොමද? පාරේ යනකොට දකුණු පැත්තෙන් ආවොත් මිනිස්සු වම් පැත්තට මාරු වුණා. ගෙදරක මගුල් තුලාවක් තිබුණත් හොරුන්ට කිව්වේ නැහැ. ඒ කියන්නේ දූෂිතයන්ට, හොරුන්ට එරෙහි සමාජයක් අපිට තිබුණා. ජාතික ජන බලවේගයට ඡන්දය දීපු බහුතර ජනතාවගේ පළමු අපේක්ෂාව වුණෙත් ඒකමයි, දූෂණය නතර කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම! සමහරු ඇහුවා “කෝ ෆයිල්? කෝ කැබ් එක පුරවලා තිබ්බ ඒව?” කියලා. දැන් ඒවා අහන්නේ නැහැ නේද?  මේ ළඟකදී හිටපු ඇමතිවරයෙක් කියනවා “හොරු අල්ලන එකෙත් සීමාවක් තියෙන්න ඕනලු! හොරු අල්ලන්න කොහෙද සීමා තියෙන්නේ? සීමාවක් නැතුව අල්ලනවා තමයි! මොකද ජනතාව අපිට ජනවරම දුන්නේ ඒකට.

සමහරු කියනවා මේක පලිගැනීමක් කියලා. නැහැ, මේක පලිගැනීමක් නෙවෙයි. පලිගැනීමේ ඉතිහාසය මම ඔබට කියන්නම්. 2010දී ෆොන්සේකා මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම, මැතිවරණ ප්‍රතිඵල එනකොට එතුමා හිටපු හෝටලය හමුදාව ලවා වට කළා. හෝටලයෙන් එළියට යන්න දුන්නේ නැහැ. අන්න පලිගැනීම්!

ඊටපස්සේ එතුමාගේ කාර්යාලයට කඩා වැදිලා, හමුදා කණ්ඩායම් ලවා උස්සගෙන ගිහින් ජීප් එකට දාගත්තා. ඡන්දය ඉවර වෙලා සතියයි දෙකයි ගියේ. අන්න පලිගැනීම්! සමහර නාලිකාවලට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන්ට පාරේදී වෙඩි තියලා ඝාතනය කළා. සුදු වෑන්වලින් උස්සන් ගිහින් අතපය කඩලා පාරේ දාලා ගියා.රාජ්‍ය නිලධාරීන්ට රට දාලා යන්න සිද්ධ වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාව සතියෙන් හිරේ දැම්මා. අන්න පලිගැනීම්!

අපි එහෙම පලිගැනීම් කරලා තියෙනවද? 2024දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන අරන් අපි ජයග්‍රහණය කළා. හැබැයි අපි එක රතිඤ්ඤයක් පත්තු කළාද? එක විරුද්ධවාදියෙකුගේ ගෙදරකට ගලක් ගැහුවද? උසුළු විසුළු කළාද? නැහැ! අපි පලිගන්න දේශපාලනය කරන්නේ නැහැ.හැබැයි, අපි අවුරුදු දෙකක් තිස්සේ මේ වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකාරයන්ට දඬුවම් දෙන්න අවශ්‍ය පරීක්ෂණ කරන ආයතන ශක්තිමත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් දුන්නා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අවශ්‍ය නීති හදලා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුත් නිලධාරීන් බඳවාගන්න අවසර දුන්නා.කොළඹ විතරක් නෙවෙයි, මහා අධිකරණ 07ක් අලුතින් හැදුවා. අධිකරණවල කාර්ය මණ්ඩල බඳවාගත්තා.

නීත්‍යානුකූලව විමර්ශන කරලා, අධිකරණයට ගිහින් නඩුවක් විභාග කරලා දඬුවම් දෙන එක ආණ්ඩුවේ කාර්යභාරයයි. අපි ඒ පරිසරය සම්පූර්ණයෙන්ම සකස් කරලා දීලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ පරීක්ෂණ කරන නිලධාරීන් සහ අධිකරණය හමුවේ. නීතිය විධිමත්ව සිද්ධ වෙනවා. අපි ඒ වෙනුවෙන් ඇස් බැඳගෙන ඉන්නේ. කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ! පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. මොකද, අපි ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න බලතල දීලා තියෙන්නේ. කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැහැ. බලය පාවිච්චි කරලා කරපු අක්‍රමිකතාවලට නීතිය ක්‍රියාත්මක වෙනවාමයි.

තව අපිට මේ වාරයේ අවුරුදු තුනක් තියෙනවා, තව වාර ගොඩක් තියෙනවා. ඒ ඔක්කොගෙන්ම අල්ලනවා! මේවා අද හෙට ඉවර වෙන ඒවා නෙවෙයි. සමහර පරීක්ෂණවලට තොරතුරු විදේශ රටවලින් එන්න ඕනා. සමහර අපරාධකාරයෝ රටවල්වලට පැනලා ඉන්නේ, ඒ අයව ගිවිසුම් ගහලා ගෙන්නගන්න ඕනා. මේක නතර වෙන වැඩක් නෙවෙයි.

අපේ ජනතාව අපෙන් ඉල්ලුවේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීම. එය අපි අකුරටම ඉටු කරනවා. අපි සභ්‍යත්වයෙන් පිරි සමාජයක් හදන්න ඕනා. දූෂිතයන්ව සමාජයෙන් කොන් කරන්න ඕනා. අද වෙනකොට දූෂිතයෝ ඇවිත් ස්ටේජ්වල අත්දෙක වනනවා. මට වෙලාවකට හිතෙනවා මගේ අතේ සතයක්වත් නැහැ කියලා කියන්නද කියලා! හැබැයි මතක තියාගන්න, තව අවුරුදු ගණනාවක් ඉදිරියට තියෙනවා. පරණ ගෝත්‍රික අදහස්වල ඉන්න කුඩා පිරිසක් හිටියට අපි ඒ අය එක්ක තරහා වෙන්නේ නැහැ, අනුකම්පා කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා, මේ රට යහපත්, සභ්‍යත්වයක් සහිත  සහ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කරමු.

ඒ වගේම අපේ රට වෙළාගත් මත්ද්‍රව්‍ය උවදුර තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුළුමනින්ම මුදා ගැනීමේ මෙහෙයුම අපි දියත් කර තිබෙනවා. විශාල ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. අපි ඒ සියල්ල අල්ලනවා. ඒ හා බැඳුණු පාතාලය මේ වන විට හැත්තෑ ගණනක් ලංකාවට ගෙනත් තිබෙනවා. ඉතිරි අයවත් අපි ගේනවා. අපි හැකි තරම් පාතාල නායකයින් ලංකාවට ගෙන්වා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දෙනවා. ඒ වගේම මේ රටේ ඩොලර් හොරෙන් පන්නපු ජාවාරම්කාරයින්ව අපි අල්ලලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව හොරුන්ට, දූෂිතයින්ට, පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අභිමුඛවී තිබෙනවා.

හැබැයි ඔවුන් ඒ පැත්තේ හිටියට ජාතික ජන බලවේගය සමග ජනතාව මේ පැත්තේ ඉන්නවා. ඒ නිසා ජනතාවගේ හයිය තමයි අපිට හැම වෙලාවේම බලය දෙන්නේ සහ අපිව ආරක්ෂා කරන්නේ. මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කිරීමට, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට, වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් ගොඩනැගිමට, සමාජය තුළ හොරා පිළිබඳ තිබෙන පිළිකුල වර්ධනය කිරීමට අවශ්‍ය අලුත් සමාජය අපි හදනවා.

ඒ වගේම මේ අවලස්සන දේශපාලනය පිරිසිදු කළයුතුයි. වංචාව, දූෂණය, අල්ලස, නාස්තිය ගොඩගැහුණු දේශපාලනයක් තිබුණා. ඒ වගේම දේශපාලනය පවුල් කිහිපයක් අතර කේන්ද්‍රගතවී තිබුණා. වසර 76ක් මේ රට පාලනය කළෙත් පවුල් කිහිපයක්, දිස්ත්‍රික්ක පාලනය කළෙත් පවුල් කිහිපයක්.  එම පවුල් කිහිපයකට සීමා වී තිබු දේශපාලනය අද අපි ලංකාවේ අවසන් කර තිබෙනවා. තාත්තා ජනාධිපති කියලා පුතා ජනාධිපති කළ යුගය ඉවරයි. ඒවා පැරණි දේශපාලන යුගය. නව දේශපාලනය අලුත් නායකයන්, අලුත් අවස්ථා හදන දේශපාලනය. ලංකා දේශපාලනය තුළ දීර්ඝ කාලයකට පසු එම දේශපාලන හැරවුම සිදු වී තිබෙනවා.

ඊළගට වැදගත්ම දේ ආර්ථිකයයි. ස්වාධීන ස්වෛරී ආර්ථිකයක් අපිට අවශ්‍යයි. අපි තවමත් ආර්ථිකයේ ස්වෛරීභාවය අත්පත් කර ගෙන නැහැ. හැබැයි අපේ ඉලක්කය අපේ රටේ භාණ්ඩාගාරයේ ධනය පුරවමින්, ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගනිමින්, ආනයනය සීමා කර අපනයන වැඩි කර ගනිමින්, ග්‍රමීය ආර්ථිකය දියුණු කරමින්, අපි අත්පත් කර ගන්නා ධනය ගම්වලට ගෙන යමින් ස්වාධීන ආර්ථිකයක් අත්පත් කර ගැනීමයි. අපි වසර කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය  පිඹුරුපත් සකස් කර තිබෙනවා. වසර තිස් ගණනකට පසුව භාණ්ඩාගාරයට ලැබුණ වැඩිම මුදල් ප්‍රමාණය ලැබුණේ මේ ආර්ථික ස්වාධිපත්‍යයේ සංකේතයක් ලෙසයි. 1958න් පසු ලංකාවේ අඩුම අයවැය හිඟය 2025 වාර්තා කළේ ආර්ථික ස්වාධිපත්‍යය වෙනුවෙන් හොඳ පියවරක් තබමින්. මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 8.4කට අපේ සංචිත ඉහළ නංවා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ලංකා ඉතිහාසයේ මහබැංකුව සතුව තිබෙන වැඩිම සංචිත ප්‍රමාණය මේ දෙසැම්බර් වන විට අපි උපයා ගන්නවා. එය ආර්ථික ස්වාධිපත්‍යයේ සංකේතයක්. තවත් ඉදිරියට යා යුතුයි. වාණිජ බැංකුවට ගිහින් ණය ගන්න පුළුන්ද, ඒසඳහා ආර්ථික ශක්‍යතාව අත්පත් කරගන්නේ කොහොමද, අපනයන වෙළෙඳපොල වර්ධනය කර ගන්නේ කොහොමද, ගම්මාන දක්වා කර්මාන්ත ගෙන එන්නේ කොහොමද කියන සැලසුම් අපි හදලා තිබෙන්නේ. අපිට ආර්ථික ස්වාධිපත්‍යය අවශ්‍යයි.

හිටපු පාලකයන් අපේ රටේ ආර්ථික ස්වාධිපත්‍යය නැති කරලා තිබුණේ. අද අපි ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා. මැදපෙරදිග යුද්ධය වෙලාවේදී සමහර රටවලින් යුද නැව් එන්න ඇහුවා, යුද ගුවන් යානා එන්න ඇහුවා. අපි පැහැදිලිව ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව කිසිදු රටක යුද පාර්ශ්වයක් නොවෙයි. ඒ නිසා අපේ වරායට, අපේ ගුවන් තොටුපොළට එන්න බැහැ කියලා. අපි ස්වාධීන රාජ්‍යයක්. ඉන්පසුව ඉරාන නෞකාව පිළිබද ප්‍රශ්නය මතු වුණා. ජාත්‍යන්තරයේ සියලු රටවල ඇගයීම සහ එම සෑම රටකම ගෞරවයට භාජනය වන විදියට අපි ප්‍රශ්නය විසදුවා. අපිව යටපත් කරන්න බැහැ. අපි මේ ලෝකය ඇතුලේ අපිට හිමි භූමිකාව ක්‍රමානුකූලව අත්පත් කර ගන්නවා.

අපේ ස්වාධිපත්‍යය නැති කරලා තිබුණේ. අපි රාජ්‍ය දේපළ කිසිවක් කිසිදු රටකට විකුණලා නැහැ. මීට කළින් ආණ්ඩු රටේ සම්පත් එක එක් රටවලට විකුණමින් තමයි විදෙස් ප්‍රතිපත්ති ගෙන ගියේ. අද එහෙම නැහැ. ඒ නිසා අපි ආර්ථික වශයෙන් ස්වාධිපත්‍යය අත්පත් කරගත යුතුයි. විදෙස් සංචිත ඉහළ නංවා ගන්න ඕන. තීන්දු තීරණ ගැනීමේ හැකියාව වැඩි කර ගන්න ඕන. අපනයන වෙළෙඳපොළ සක්‍රීය කර ආනයන සීමා කර ගන්න ඕන. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. එවිට අපි ආර්ථික වශයෙන් ලොකු ස්ථාවරභාවයක් අත්පත් කර ගන්නවා.

ආර්ථිකය ස්ථාවරවන විට ගම්වලට එම ධනය ගලාගෙන ආ යුතුයි. ඒ වගේම එම ජනතාවගේ ජීවිත උසස්විය යුතුයි. දැන් අපි 1,20,000ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. වසර පහ, හයක් ආණ්ඩුවේ රැකියාවලට ගත්තේ නැහැ. අපි කමිටුවක් පත් කර අවශ්‍යතා නිසි ලෙස හඳුනා ගනිමින් එම බඳවා ගැනීම් සිදු කරනවා. මේ අන්දමින් රටේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සැපයීමට අවශ්‍ය වන රාජ්‍ය යාන්ත්‍රණය අපි ශක්තිමත් කරනවා.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ වැඩ නතර වී තිබුණා. ඒ සදහා වියදම මිලියන 47,000යි. එයින් මිලියන 200යි වියදම් කර තිබුණේ. අපි නැවත එම ව්‍යාපෘතිය පටන් ගන්නවා. සතයක්වත් ණයට ගන්නේ නැතිව ආණ්ඩුව උපයාගත් ධනයෙන් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒ වගේම නතර වී තිබෙන උතුරු මැද මහ ඇළ අඩුම තරමින් මහකනදරාවටවත් ගේන්න අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඒ වගේම වයඹ මහ ඇළ ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන්ද කියලා මේ වසරේ අධ්‍යයනයක් කරනවා. ඒ වගේම රාජාංගණය – ගිරිඹාව ව්‍යාපෘතිය නතර වී තිබුණේ. අපි ඒක පටන් ගන්නවා. කැබිතිගොල්ලෑවේ ජල ව්‍යාපෘතිය නැවත පටන් ගන්නවා. අපි කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය ඉදි කරනවා. මේ සියල්ල ආණ්ඩුවේ මුදල්. රටට අවශ්‍ය යටිතල පහසුකම් ටික අපි වර්ධනය කරනවා. එම වැඩබිම් තුළ රැකියා උත්පාදනය වෙනවා. එවිට ජනතාව අතට මුදල් ගලාගෙන එනවා.

මේ වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් 450ක් හදන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ වසරේ කොපමණ වැව් හදන්න පුළුවන්ද, එම අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලබා දෙන්නම් කියලා මම අදාළ ආයතන කැඳවලා කිව්වා. ඒ අනුව මේ වසරට පමණක් වැව්, අමුණු, ඇළවල් හදන්න අපි මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මැදපෙරදිග යුද්ධය නිසා තාර පිළිබඳ ගැටලුවක් මතුව තිබෙනවා. ඒ නිසා යම් වැඩ ප්‍රමාණයක් නතර වී තිබෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි.

අපේ රටට උචිත එම තාර වර්ගය ගෙන ඒමට සිදු වන්නේ ඉරානය සීමාවෙන්. ඉරානයේ යුද්ධය නිසා නැව් එන්න බැරි වෙලා තිබෙනවා. තාර පිළිබද ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ නිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා. හැබැයි අපි පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෙල් සංස්ථාවට උපදෙස් ලබා දුන්නා කොහෙන් හරි තාර ගෙනවිත් දෙන්න කියලා.

ඒ වගේම නිවාස 35,000කට ආසන්න ප්‍රමාණයක් අපි අලුතින් හදනවා. ඒ අනුව නිවාස අහිමි පවුල් 60,000කට පමණ අපි මේ වසරේ නිවාස ඉදිකර දෙනවා. අපි ජනතාව බලාගත යුතුයි. ඒ වගේම කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉඩම් ඔප්පු ලක්ෂයක් මේ වසරේ ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි වසර දෙක හමාර, තුන තුළ පිරිසිදු, නිරවුල් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒවගේම වනඅලි ගැටලුව විසඳිය හැකි අන්දමින් වනජීවි දෙපාර්තමේන්තුව ශක්තිමත් කර තිබෙනවා.

ඔබ එක්ව ගොඩනගාගත්තේ මේ ගම්වල ජනතාව බලා ගන්න ආණ්ඩුවක්. මේ රටේ ජනතාවගේ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව.

පාසල් දරුවන් ලක්ෂ 40ක් පමණ සිටිනවා. ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන් ලක්ෂ 17කට පාසල් උපකරණ ගැනීමට රුපියල් 6,000 බැගින් ලබා දුන්නා. මේ දෙසැම්බර් මාසයේදිත් එය ලබා දෙනවා. ඒ වගේම පාසල් පොත්වල වැට් එක ඉවත් කිරීමටත් අපි කටයුතු කරනවා. අපි ජනතාව බලා ගන්නා ආණ්ඩුවයි. ඒ නිසා අපි සියලුදෙනා එක්වී මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු කියා මම ආරාධනා කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *