Latestදේශීය

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට සිව් මහල් කායික වාට්ටූ සංකීර්ණයක්

උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 04 කින් යුත් අති නවීන පහසුකම් වලින් සමන්විත කායික වාට්ටු සංකීර්ණය (Medical Word Complex) සඳහා මුල්ගල් තැබීම   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Mr. Santosh Jha) යන මහත්වරුන් ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (16) ‌පෙරවරුවේ සිදූ කෙරිණි.

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ පැවති රෝගී තදබදයට විසඳුමක් වශයෙන් නවීන පහසුකම් වලින් යුක්තව  ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබඳතා තවත් ශක්තිමත් කරමින්  ඉදිකිරීමට නියමිත මෙම සිව් මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු  ඉන්දීය රජයේ ආධාර ප්‍රධාන යටතේ සිදු කෙරේ.

ඇඳන් ධාරිතාව අඩුම දිස්ත්‍රික් මහ  රෝහල මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල බවත්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු කරන බවත්, සියළු ජනතාව නිරෝගීමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමෙි වැඩපිළිවෙල තුළ රෝහල සංවර්ධනය කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

මෙහි ඉදිකිරීම් කටයුතු 2028 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට කටයුතු කිරීම තුළ රෝහලේ ඇඳන් ධාරිතාව සියයට 150 කින් වැඩි වෙන බවත්, ඉදිරියේ දී රෝහලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදෙන බව ද පැවසීය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 20 දිනට පෙර රෝහල් වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලැයිස්තු ලබාදෙන ලෙස සියළු රෝහල්වලට දැනුම් දී ඇති බවත්, ඒ අනුව ලබන වසරේ ඒ සඳහා මුදල් වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වෛද්‍ය, හෙද ඇතූළු සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉදිරියේ දී ලබාදීමට සියළු කටයුතු සුදානම් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Mr. Santosh Jha) මහතා  පසුගිය කාලය පුරා ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරමින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා ඉන්දීය රජය සිදුකළ මැදිහත් වීම් පිළිබඳ අදහස් දක්වන ලද අතර,  උතුරු පළාත් ආණ්ඩුකාර නගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan) මහතා ද උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳ  උත්සව සභාව අමතමින් අදහස් දක්වන ලදි.

මෙම කායික වාට්ටු සංකීර්ණය ඉදිකිරීමත් සමග රෝහල තුළ පැවැති රෝගී තදබදය  අවසන් කරමින් රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් විධිමත් හා ශක්තිමත් කිරීමට හැකියාවන අතර, මෙම සුවිශේෂී අවස්ථාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් එක් සුවිශේෂී කඩඉමක් ලෙස පෙන්වා දිය හැක.

මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා, උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්,  උතුරු පළාත් ආණ්ඩුකාර නගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan), උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් (Mrs. Thanuja Murugeson),  

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උමාශංකර්,  උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ (Dr. V.P.S.D. Pathirana), මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ඇතූළු පිරිසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *