Latestවිදේශීය

සෞදි අරාබියට ප්‍රහාරක ජෙට් යානා අලෙවියට අමෙරිකාවේ අවසරය

මැදපෙරදිග කලාපයේ උණුසුම් වාතාවරණය තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, ලොක්හීඩ් මාටින් (Lockheed Martin) සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන අති නවීන F-35 ලයිට්නින් II ප්‍රහාරක යානා සෞදි අරාබියට අලෙවි කිරීමේ යෝජනාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ. මෙම ගනුදෙනුව ක්‍රියාත්මක වුවහොත් එය අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ සැලකිය යුතු හැරවුම් ලක්ෂයක් වනු ඇති අතර, මැදපෙරදිග කලාපීය මිලිටරි බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටද එය හේතු විය හැක.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සෞදි අරාබිය විසින් 2025 මුල් භාගයේදී කරන ලද සෘජු ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇත. ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 24.3 ක් වන මෙම ගනුදෙනුව යටතේ, ප්‍රහාරක යානා 48 ක්, ප්‍රැට් ඇන්ඩ් විට්නි (Pratt & Whitney) එන්ජින් 49 ක් මෙන්ම අත්‍යවශ්‍ය සන්නිවේදන උපකරණ සහ අමතර කොටස් ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම අලෙවිය සඳහා අමෙරිකානු කොන්ග්‍රසයේ අනුමැතිය තවදුරටත් ලැබිය යුතුව ඇත.

අමෙරිකාව මැදපෙරදිග රටවලට ආයුධ අලෙවි කිරීමේදී ඊශ්‍රායලය සතු ‘ගුණාත්මක මිලිටරි වාසිය’ (qualitative military edge) ආරක්ෂා කිරීමට සැමවිටම වගබලා ගනී. ඒ අනුව, කලාපීය අරාබි රාජ්‍යයන්ට වඩා උසස් මට්ටමේ අමෙරිකානු ආයුධ ඊශ්‍රායලයට ලැබීම සහතික කෙරේ. මෙතෙක් මැදපෙරදිග කලාපයේ F-35 ප්‍රහාරක යානා ක්‍රියාත්මක කළ එකම රට වූයේ දශකයක පමණ කාලයක සිට එම යානා භාවිතා කරන ඊශ්‍රායලයයි. සෞදි අරාබිය මෙම යානා ලබා ගැනීමට දිගු කලක් තස්සේ උත්සාහ කළ අතර, ට්‍රම්ප් පාලන සමය රියාද් සමඟ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීමට දැඩි උනන්දුවක් දක්වා ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *