Latestදේශීය

අධිවේගයේ ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි (Seat Belts) පැළඳීම ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

නිෂ්පාදනයෙන්ම ආසන පටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම් සපයා ගැනීම පිණිස රජය විසින් අවස්ථා හතරකදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දෙන ලදී. එම සහන කාලය අදින් නිමාවට පත්වන බැවින්, ආසන පටි නිසි පරිදි සවිකර ඇති වාහනවලට පමණක් අද (19) දින සිට අධිවේගී මාර්ගවල ගමන් කිරීමට නීත්‍යානුකූල අවසර හිමිවන බව අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේය.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ, ලබා දී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින් හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය. ඒ අනුව, ආසන පටි පහසුකම් නොමැති රථවාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට ද හෙට සිට කිසිදු අවසරයක් ලබා නොදෙන බව පොලීසිය පවසයි.

මෙම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ දඩ ගැසීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, හදිසි අනතුරකදී රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව පොලීසිය පෙන්වා දෙයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *