Latestක්‍රීඩාදේශීය

සොනාල්ට අයිසීසී සම්මානයක්

සිය වෘත්තීය ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ආරම්භයේදීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පිරිනමන අයිසීසී සම්මානයක් සොනාල් දිනූෂ දිනා ගනියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙවී ගිය අගෝස්තු මාසයේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරමින් සොනාල් දිනූෂට මේ සම්මානය පිරිනමා ඇත.

ඉන්දියාවට එරෙහි අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකදී ප්‍රමුඛතම ලකුණුලාභියා වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 420ක් ලබා සොනාල් දිනූෂ ලෝක අවධානයට ලක්වීම මේ සම්මානය පිරිනැමීමට හේතු වී තිබේ.

අගෝස්තු මාසයේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහමුද් යන වේග පන්දු යවන්නන් නම් වී තිබුණද අවසානයේ සොනාල් දිනූෂ සම්මානයේ නියම සුදුස්සා ලෙස තෝරා ගත්තේය.

ඉන්දියාව සමඟ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 165කින් පරාජයට පත් වූ අතර, දිනූෂ පළමු ඉනිමේදී ලකුණු 100ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 84ක් ලබා ගත්තේය. එස්එස්සී පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී දිනූෂ ඉනිම දෙකේදීම ද්විත්ව ශතක (103 සහ නොදැවී ලකුණු 133) රැස් කරමින් ශ්‍රී ලංකා පරාජය වළක්වා ගත්තේය.

කොළඹ මහානාම විදුහලෙන් පිටියට අවතීර්ණ වූ 25 හැවිරිදි සොනාල් කොළඹ ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරමින් සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ටෙස්ට් තරග 5ක් පමණක් ක්‍රීඩා කර ඇති වමත් පිතිකරුවා ශතක 3ක් හා අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 606ක් ලබා ලකුණු සාමාන්‍ය 86. 57ක් රඳවා ඇත.

“මේ පිළිගැනීම මට ගොඩක් වටිනවා. විශේෂයෙන්ම මගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී ලැබීම. ඒ වගේම මේ ගෞරවය ලබාදීම වෙනුවෙන් අයිසීසීයට කෘතඥ වෙනවා. ඉන්දියාවට එරෙහි තරගාවලිය සැමවිටම මගේ හදවතේ විශේෂ ස්ථානයක් ගනීවි” යැයි සොනාල් දිනූෂ පැවසීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *