ශිරන්තිට එල්ල වූ ‘‘රන් කොල්ලය’’ චෝදනාව
ශිරන්ති රාජපක්ෂට එරෙහිව රන් වංචාවක් පිළිබඳව 2015 වර්ෂය මුල් කාලයේ චෝදනා එල්ල කර තිබූ බව හෙළි වී තිබේ.
රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්තරන් වංචනිකව විකුණා දැමූ බවට එවකට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනගේ බිරිඳ චෝදනා එල්ල කර ඇත. 2015 ජනවාරි 26 වෙනි දින එම චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කර තිබූ වාර්තාව උපුටා ගෙන පහත දැක්වේ.
රත්රන් වංචාවකට ‘ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයි’
බීබීසී සිංහල | 26 ජනවාරි 2015
රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්රන් තොගයක් විකිණීමේ වංචාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආර්යාව, ශිරන්ති රාජපක්ෂ, සම්බන්ධ බවට ඉදිරිපත් වූ සාක්ෂි විභාග කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව සිය ස්වාමියා ගෙන් පළිගැනීමට කටයුතු කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගේ බිරිඳ ප්‍රකාශ කරයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
“ඉන්පසු මටත්, මගේ රට ඉන්න පුතාටත්, මහත්තයටත් දිගින් දිගටම තර්ජන ආව මේ සම්බන්ධයෙන් කිසිම හෙළිදරවුවක් කිසිම කෙනෙකුට කරන්න එපා, කළොත් මගේ මහත්තයා ඉදිරියට කවදාවත් එලියට එන්න දෙන්නෙත් නෑ කියල,” යනුවෙන් ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සඳහන් කළාය.
“මට මරණීය තර්ජන ආව. මගේ ගෙදරට බෝම්බ ගැහුවා.”
‘අසත්‍ය චෝදනා’
කෙසේ නමුත් අදාළ විමර්ශනය සහ හිටපු ජනාධිපති ආර්යාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව, එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවිය දැරූ අනුර සේනානායක බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී කියා සිටියේය.
“පැහැදිලිව අසත්‍යයක් මේක. මේ විමර්ශනයේදී කිසිම අවස්ථාවක එතුමියගේ නම ආවේ නෑ,” යන්නයි එම චෝදනාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ ප්‍රතිචාරය වූයේ.
රත්රන් තොගය විකිණීම පිළිබඳව ආරම්භ වූ පරීක්ෂණ නවත්වන මෙන් හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, සිය සැමියා වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එම පරීක්ෂණය අතරමඟ නැවතුන බවද ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා පවසන්නීය.
එම චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පරීක්ෂණ අතරමඟ නතර වූයේ නම් මේ වන විට සැකකරුවන් නමදෙනකු අත්අඩංගුවේ සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
වාස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ එල්ල චෝදනාව පිළිබඳව විමසීම පිණිස හිටපු ජනාධිපති ආර්යාව හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට බීබීසී සංදේශය දරු උත්සාහය සාර්ථක නොවීය.
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

